ලංකාවෙන් අද ගිනස් වාර්තාවක්

3894

හඟුරන්කෙත ජනක කාංචන මුදන්නායක කිලෝ ග්රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කැට 26 ක් දෑත් මත රඳවා ගෙන සිටිය දී කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළ ඒවා කඩා දමා නව ගිනස් වාර්තාවක් අද පිහිටුවනු ලැබීය.කඩා දමන ලද එක් කොන්ක්‍රීට් කැටයක් දිගින් සෙන්ටි මීටර් 40 ක්ද පළලින් මිලි මීටර් 20 ක් ද උසින් සෙන්ටිමීටර් 05 ක්ද වෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරනු ලබන ජනක මෙයට පෙර ගිනස් වාර්තා 07 ක් පිහිටුවා තිබෙන අතර ගිනස් වාර්තා 18 ක් පිහිටුවීම ඔහු ගේ ඉලක්කය වී තිබේ.කිලෝ ග්රෑම් 50 බැගින් වූ තිරිඟු පිටි බෑග් 20 ක් මීටර් 30 ක දුරක් දත්වල අධාරයෙන් රැගෙන යාම, මීල මීටර් 12 වානේ කම්බි 22 ක් තත්ත්පර 48 ක දී හිසේ අධාරයෙන් නැමීම, කිලෝ ග්රෑම් 50 බැගින් වූ අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිට විනාඩි 36 ක දී උදරය මතට හෙළීම, ටොන් 1 1/2 ක් බර වාහන 32 ක් අතඟිලි මතින් ධාවනය කිරීම, මිලි මීටර් 12 වානේ කම්බි 18 ක් විනාඩියක දී දත් ආධාරයෙන් නැමීම, ඇන ලෑල්ලක් මත නිදා සිටිය දී කොන්ක්‍රීට් කැට 35 ක් තත්ත්පර 54 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම, , කිලෝ ග්රෑම් 107 බැගින් වූ කොන්ක්‍රීට් කැට 30 ක් උදරය මත තබා විනාඩි 05 යි තත්ත්පර 45 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම මගින් ඔහු මීට පෙර ගිනස් වාර්තා පිහිටුවා ඇත.ගුවන් යානයක්, නැවක් හා දුම්රියක් කටින් ඇදීම ඇතුළු තවත් ගිනස් වාර්තා 10 ක් ඉදිරියේ දී පිහිටුවීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජනක කාංචන මුදන්නායක ප්‍රකාශ කළේය. කලකට පෙර මියගිය ගාමිණි වසන්ත ජනක කාංචන ගේ පියා වන අතර ඔහු ගිනස් වාර්තා හතරකට හිමිකම් කියන්නෙකි. ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා යොදාගත් කොන්ක්‍රීට් කැබලි මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කර තිබේ. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා ගේ අධීක්ෂණය යටතේ ජනක කාංචන විසින් නව ගිනස් වාර්තාව පිහිටුවනු ලැබූ අතර ඒ සඳහා නිල පිළිගැනීම ලැබෙන්නේ ගිනස් කමිටුව මගින් එය ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමෙන් අනතුරුව ය. රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම,ගිනස් කමිටුවේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ඉන්දික ජයලත්,මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment