ශතක ජයක මතක සොයා ශ්‍රී ලංකාව අද (24 වැනිදා) සටනට

169

1981 වසරේදී ටෙස්ට් වරම් ලද ශ්‍රී ලංකාව එම චාරිකාවේ 311 වැනි ටෙස්ට් තරගයට අද පියවර තබන්නේ සිය සියවැනි ටෙස්ට් ජයග්‍රහණය ලැබීමේ අපේක්ෂාවෙනි.

පසුගියදා තම හතරවන ටෙස්ට් තරගයට සහභාගී වූ ආධුනික අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කළ

ශ්‍රී ලංකා කණ්ඩායමට අද ආරම්භ වන තරඟයේදීම ප්‍රාතිහාර්යක් හෝ කාලගුණයෙන් අනිසි බලපෑමක් හෝ නොවුණහොත් සියවැනි ජයග්‍රහණය ලබාගැනීම අපහසු නොවනු ඇත.

එසේ ශ්‍රී ලංකාව මෙම තරගයේදී 100 වැනි ජයග්‍රහණය ලබා ගතහොත් ටෙස්ට් තරග 100 ක් ජයගැනීම සඳහා අඩුම තරග සංඛ්‍යාවක් වැය කළ ආසියානු කණ්ඩායම ලෙස වාර්තා අතරට එක්වනු ඇත.

එමෙන්ම ආසියාවෙන් පිට සෙසු කණ්ඩායම් සමග සසඳා බැලීමේදී අඩුම තරඟ ගණනකින් ටෙස්ට් ජයග්‍රහණ සියයක් වාර්තා කළ පස්වැනි රට බවට පත්වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට එමගින් හැකිවනු ඇත. ටෙස්ට් වරම් ලැබූ දින සිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරඟ 310 කට සහභාගී වී ඉන් තරඟ 99 ක් ජයගෙන තරග 119 ක් පරාජයට පත් වී ඇත. තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඉන්දියාව තරග 100 ක් ජය ගැනීමේ කඩඉම සඳහා තරග 432 ක් ද පකිස්තානය තරග 320 ක් ද වැය කර තිබේ.

එමෙන්ම අද ආරම්භ වන තරගයෙන් ජය ගත හොත් තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලෙසින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත.

එසේ වුවහොත් 2021 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0 ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ඉන් පසුව ලබන 2-0 ක පූර්ණ තරඟාවලි ජයග්‍රහණය බවට එය පත්වනු ඇත.

අද ඇරඹෙන තරගය සඳහා ද පළමු තරගයේ පරිදිම වේග පන්දු යවන්නන් දෙදෙනකු සමඟින් අවතීර්ණ වන්නේද නැතහොත් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් තරගයට අවතීර්ණ වන්නේද යන්න පිළිබඳව ඊයේ දහවල් වන විටත් කණ්ඩායම අවසන් තීරණයකට පැමිණ නොතිබුණි.

ඉහතින් සඳහන් කළ කරුණු දෙකෙන් අවසන් තීරණය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වුවහොත් තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් ලසිත් ඇඹුල්දෙණිය හෝ නවක ක්‍රීඩක දුශාන් හේමන්තගෙන් කෙනෙකු ක්‍රීඩා කරනු ඇත. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් අයර්ලන්ත කණ්ඩායමේ දවා ගත් කඩුලු 20 අතුරින් 15 ක්ම දවා

ගැනීමට සමත් වූයේ දඟ පන්දු යවන්නන්ය. වේග පන්දු යවන්නන් දෙදෙනා අතරින් ඉනිම දෙකේදීම කඩුලු 2 බැගින් බිඳ හෙළීමට විශ්ව සමත් වුවත්, අසිත සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අසමත් විය. පළමු තරගයේදී අසිත විසින් ක්‍රියාත්මක කරන ලද්දේ පන්දුවාර 8 ක් පමණක් වන අතර එහිදී ලකුණු 24 ක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් සමත්විය.

මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව අද තරගයේදී බොහෝ විට තෙවැනි දඟ පන්දු යවන්නකු සමඟින් අවතීර්ණවීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනු ඇතැයි සිතිය හැක. එහෙත් තරගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (23 දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ අදහස වූයේ ජයග්‍රාහී සංයුතියේ වෙනසක් සිදු නොකරම අද තරගයට අවතීර්ණ වීමටය.

දෙරට අතර තරගාවලිය ආරම්භයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා දුශාන් හේමන්තට හොඳ අවස්ථාවක් පවතින බවයි. එහෙත් ප්‍රධාන පුහුණුකරුගේ අදහස අනුව ටෙස්ට් හිස් වැස්ම පැළඳීමට දුශාන් හේමන්තට තවත් කල් බලා සිටීමට සිදුවනු ඇති බවක් දිස් වේ. පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන විට අයර්ලන්ත කණ්ඩායම සමග නොසිටි ඔවුන්ගේ උප නායකයා වන පෝල් ස්ටර්ලිං අද තරගය සඳහා අයර්ලන්ත කණ්ඩායමට එක් වීමට නියමිතව සිටීම ඔවුන්ගේ පිතිකරණ ශක්තිය මෙන්ම කණ්ඩායමේ මානසික මට්ටමද ශක්තිමත් කරවන්නකට වක්‍රාකාර දායකත්වයක් ලබා දී තිබේ.

අද තරගය සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

  1. නිශාන් මදුශ්ක, 2. දිමුත් කරුණාරත්න (නායක), 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. සදීර සමරවික්‍රම, 8. රමේෂ් මෙන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. විශ්ව ප්‍රනාන්දු, 11. අසිත ප්‍රනාන්දු.

අයර්ලන්ත කණ්ඩායම – ඇන්ඩෘ බැල්බි්‍රන් (නායක), පෝල් ස්ටර්ලින්, මාකර් අඩයර්, කර්ටිස් කම්පර්, මරේ කමින්ස්, ජෝර්ජ් ඩොකරල්, යොන් හෑන්ඩ්, ග්‍රැහැම් හියුම්, මැතිව් චහම්ප්‍රේස්, ටොම් මයස්, ඇන්ඩෘ මැක්බර්න්, ජේම්ස් මැකලම්, පී. ජේ. මුවර්, හැරී ටෙක්ටර්, ලෝකන් ටකර්
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment