බැංකු අවදානමේ… කොටස් වෙළෙඳපොළ වැහෙයි!

6747

● IMF පාර්ලිමේන්තු විවාදය

පසුගිය සතියේ අපගේ අයිඑම්එෆ් වැඩසටහන ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්විණි. මෙහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මහජන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. මේවා අතර දේශපාලන විවේචන මෙන්ම ආර්ථිකමය වශයෙන් වැදගත් අදහස් දැක්වීම් ද තිබිණි. අයිඑම්එෆ් වැඩසටහන සමග ඉදිරියට ගමන් කිරීමේ දී අපට මීළඟට තිබෙන අභියෝගය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් එකඟතා ඇති කර ගැනීමයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉකුත් අප්‍රේල් 26 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට විදේශ ණයකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්” එම සාකච්ඡාවල දී අපට කොන්දේසි දැමිය නොහැකි බවත්ය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ කොන්දේසි රහිතව සාකච්ඡාවලට යෑම ශ්‍රී ලංකාවට පහසු බවයි. ඒ සමගම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන සඳහන් කිරීමේ දී ජනාධිපතිවරයා තරමක අමුතු කතාවක් ද කීවේය. එනම් මෙම තීරණ නිසා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බවයි. මාධ්‍ය ද එය වැඩි ප්‍රමුඛත්වයකින් යුතුව වාර්තා කර තිබිණි. ජනාධිපතිවරයා මේ කියන්නේ කුමක් ද යන්න ගැන කොටස් වෙළෙඳපොළට සම්බන්ධ බොහෝ පිරිස්වල අවධානය මෙයට යොමු විය. ජනාධිපතිවරයා මේ බව පවසමින් පසුගිය 26 දින පාර්ලිමේන්තුවේ දී මෙසේ ද කියා සිටියේය.

බැංකු අවදානමේ… කොටස් වෙළෙඳපොළ වැහෙයි!

.විදේශ ණයකරුවන් එක්ක දැන් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ දී ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැන් අන්තිම තීරණ අරගෙන නැහැ. ඒකයි අපේ රාජ්‍ය ඇමැතිතුමාත්” මහ බැංකුවේ අධිපතිතුමාත් කිව්වේ” දැනට අපි තීරණ අරගෙන නැහැ. ඒත් මේ ගැන සාකච්ඡා කරන කොට අපි තීරණ ගන්න ඕනේ. අපි කොන්දේසි දාලා සාකච්ඡාවට යන්න බැහැ. එහෙනං ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එයි. ඊට වඩා අපිට වාසියි මේ කොන්දේසි නැතුව සාකච්ඡාවලට යන්න. ඒ නිසා විශේෂයෙන්ම මේක කරද්දී අපිට තියෙනවා හැම අංශයක් දිහාම බලන්න. ඒත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. කාටවත් මෙතනින් හානියක් වෙන්නේ නැහැ. සමහර බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම කියන්නේ එහෙනං තමන් භාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අයට කියන්න බැහැ” මේක කළොත් මේක කඩා වැටෙනවා. විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළේ කියනවා” කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නං. එච්චරයි තියෙන්නේ..

අපට නම් හැඟෙන්නේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම ඇතුළු අයිඑම්එෆ් වැඩසටහන යටතේ කිරීමට තිබෙන දේ පාර්ලිමේන්තුවේ තීරණය කර” මේ සම්බන්ධයෙන් ගන්නා තීරණ දැනුම් දෙන බව ජනාධිපතිවරයා කියන කතාව බවයි. ඇත්තවශයෙන්ම ජනාධිපතිවරයා මෙහිදී කියන්නේ කොටස් වෙළෙඳපොළ වසා දමන බවක් නොවේ. එහි පුළුල් අර්ථය වන්නේ බැංකු අංශයට හෝ කොටස් වෙළෙඳපොළට හෝ වෙනත් අංශයකට හෝ කිසිදු බලපෑමක් සිදු නොවන පරිදි මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා සිදු කළ නොහැකි බවයි. අපට ඒ සම්බන්ධයෙන් විදේශ ණය හිමියන් සඳහා අපට කොන්දේසි පැනවිය නොහැකි බවයි. එසේ කිරීමට ගියහොත් එම විදේශ ණය හිමියන් ද අපට කොන්දේසි පණවමින් සාකච්ඡාවලට පැමිණෙනු ඇති බවයි. එහි සත්‍යයක් තිබේ. ඒ නිසා කොටස් වෙළෙඳපොළ වසාදමන බවට කිසිවකුත් භීතියක් ඇතිකරගත යුතු නොවේ. එසේම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ද තවමත් අවසන් තීරණ ගෙන නොමැත. ඒ පිළිබඳ සැලසුම් ඉදිරියේ දී ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. එහෙත් ඉන් අදහස් වන්නේ කිසිදු අංශයකට අවදානමක් හෝ බලපෑමක් ඇති නොවන බව නොවේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහ ශ්‍රී ලංකාවට ණය ලබා දුන් විදේශීය ණය දෙන ආයතන සමඟ ඇති කර ගත් එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පෙර සිදු කිරීමට මේ වනවිට යෝජනා වී ඇති බවත් එහිදී මෙරට බැංකු පද්ධතිය සහ සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනවල ස්ථාවරත්වයට බලපෑ හැකි බැවින් එහිදී කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව රජය දැඩි වගකීමකින් ක්‍රියා කළ යුතුව ඇති බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි. එම මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා (25) විද්‍යුත් මාධ්‍ය නාළිකාවක සංවාදයකට එක් වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා සඳහන් කළේ විදේශීය ආයතන ණය ලබා දීමත් දේශීය බැංකු රජයට ණය ලබා දීමත් වෙනස්ම තත්ත්ව දෙකක් බවත් විශේෂයෙන් ලබා දුන් ණය කප්පාදුකරණයකට ලක් කළහොත් මෙම බැංකු සහ ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයන් වෙනුවෙන් පවතින විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි ස්ථාවරත්වයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවයි. එසේම දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණයේදී විශේෂයෙන් ණය කප්පාදු කිරීමකට ලක් කිරීමට කිසිසේත් එකඟ නොවිය යුතු බව ද සඳහන් කළේය. එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණයේදී දේශීය ණය කප්පාදු කිරීමකට ලක් නොවෙන පරිදි එය සිදු කළ හැකිවනු ඇති ද යන්න නම් නිශ්චිත නැත. කෙසේ හෝ මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලසුම් ඉදිරි දිනවල දී රටට දැන ගැනීමට ලැබෙනු ඇත. එහෙත් ජනාධිපතිවරයා නම් ප්‍රකාශ කළේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිම හානියක් වීමට ඉඩ නොදෙන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි 16 වතාවක් ගොස් තිබේ. නමුත් මේ පසුගිය හැම වතාවකම අප ගනුදෙනු කළේ එම අරමුදල සමග පමණය. එයට හේතුව පසුගිය සෑම විටකම අපගේ ණය තිරසරභාවය අප සතුව තිබීමයි. මෙවර 17 වැනි වතාවේ දී අපට ණය දුන්නු අය සමගත් සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවන්ට පත්වීමට සිදුව ඇත. මෙය මෙතෙක් අත්නොවිඳි අපට නුහුරු දෙයකි. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ශ්‍රී ලංකාව යන්නේ පළමු වතාවටය. මේ පිළිබඳව අපට පෙර අත්දැකීම් නැත.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙරට බැංකු කිහිපයක්ම සිය අප්‍රසාදය පළ කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කොට ඇති බවක් ද සඳහන් වී තිබිණි. එම බැංකු එහිදී අනතුරු අඟවා ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකුවල ප්‍රාග්ධනය හානි වීමට හේතු වනු ඇති බවත්” බැංකුවලට පාඩු පියවා ගැනීමට වැඩි මුදලක් වෙන් කිරීමට බල කෙරෙනු ඇති බවටත්ය.

● ආර්ථිකයේ දරුණුතම කඩා වැටීම

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව” ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති” ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්” ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය” රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පසුගිය අප්‍රේල් මස 27 දින පිළිගන්වන ලදී. මේ වාර්තාවට අනුව ගිය වසරේ (2022) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 ක දරුණුතම කඩා වැටීමකට ලක්ව ඇත. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළ විශාලතම සංකෝචනයයි. ඒ ගැන මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ දී පෙර නොවූ විරූ පරිදි සියයට 7.8 ක පහත වැටීමක් වාර්තා කළ බවයි. ක්‍රියාත්මක කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපත්ති අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තිව්‍ර වීම වැළැක්වීමට උපකාරී වූ බව ද එහි සඳහන් වේ. 2021 වසරේ දී වාර්තා කළ සියයට ධන 3.5 ක ආර්ථික වර්ධනයට සාපේක්ෂව 2022 වසරේ දී සියයට 7.8 කින් ආර්ථික වර්ධනය ඍණ වීම ආර්ථිකමය වශයෙන් බරපතළ පසුබෑමකි. මේ මුළු ආර්ථික පසුබෑම නියෝජනය කරමින් කෘෂිකර්ම අංශය සියයට 4.6 කින් ද කාර්මික අංශය සියයට 16.0 කින් සහ සේවා අංශය සියයට 2.0 කින් ද 2022 වසරේ දී පසුබෑමට ලක්ව ඇත.

● ආර්ථිකය බංකොළොත් වීමේ හේතු

බැංකු අවදානමේ… කොටස් වෙළෙඳපොළ වැහෙයි!

ගිය වසරේ (2022) පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජනයා නොසන්සුන් වී අරගල ක්‍රියාකාරීත්වයන් නිර්මාණය වී දේශපාලන කැළඹීම් ද ඇති විය. අවසානයේ එම තත්ත්වයන් පාලනය කර ගැනීමට අසමත් වූ එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට පවා සිදු විය. විශාල මහජන වරමකින් පත් වූ ජනාධිපතිවරයකුට මෙවන් ඉරණමක් අත් වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටය. බදු කැපීම සහ ඉතා කෙටි කලකින් කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියකට යෑමට ඔහු අනුගමනය කළ වැරදි අදූරදර්ශී ප්‍රතිපත්ති මෙන්ම කලට වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීම (විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය ගැනීමට බොහෝ ප්‍රමාද වීම) ඇතුළු තවත් හේතු නිසා මේ තත්ත්වයට ඔහු රාජ්‍ය නායකයා ලෙස වගකිව යුතුය. මේ ගැන මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

.සාර්ව ආර්ථික අසමතුලිතතා විසඳාලීමෙහි පැවති ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ප්‍රමදයන්හි බලාපෑම පිළිඹිබු කරමින් අනෙකුත් එවැනි දුර්වලතා අතර” විශේෂයෙන්ම මෑත වසරවල දී බදුකරණය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අදාළව මනා සූදානමකින් තොරව සහ කාලෝචිත නොවෙන පරිදි සිදුකළ ප්‍රතිසංස්කරණ මධ්‍යයේ දිගුකලක සිට පවත්නා අයවැය හිඟයන් සහ විදේශීය ජංගම ගිණුම් හිඟයන් යන ද්විත්ව හිඟයන්ගෙන් සමන්විත දිගුකාලීන සාර්ව ආර්ථික දුර්වලතා 2022 වසරේ දී තවදුරටත් උග්‍ර විය. විදේශ විනිමය හිඟය හේතුවෙන් හටගත් උග්‍ර ඉන්ධන හිඟයෙහි ප්‍රතිපලයක් ලෙස සැපයුම් දාමයට බාධා ඇතිවීම” දිගුකාලීන විදුලිය ඇනහිටීම” ආනයන පාලනය යනාදිය හමුවේ අමුද්‍රව්‍ය හිඟයක් ඇති වීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ආර්ථික කටයුතු සැලකිය යුතු ලෙස මන්දගාමී විය.

මහ බැංකුව සිය වාර්ෂික වාර්තාවෙන් (2022) දැන් මේ කියන කරුණු අප මීට බොහෝ පෙර සාකච්ඡා කර ඇත. ඒ අනුව ඉතාම සරලව කියන්නේ 2022 වසරේ දී නම් රට බංකොළොත් වී ආර්ථිකය ඝාතනය වීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපාන ලද හේතු (ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා) මේ ලියුම්කරු විසින් දිගින් දිගටම පැහැදිලි කර ඇත. මේ සියලුම කරුණු මෙවර නවතම මහ බැංකු වාර්තාවේ ඉතා සවිස්තරාත්මකව සඳහන්ව ඇත. මේ මහ බැංකු වාර්තාවේ පීඩීඑෆ් පිටපත් භාෂා තුනෙන්ම මේ වන විට මහ බැංකු වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති නිසා මෙය ඕනෑම අයකුට අන්තර්ජාලයෙන් දැන් කියවිය හැකිය.

● ඉදිරි ආර්ථික පුරෝකථන

මේ මහ බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි මේ වසරේ (2023) ද වාර්තා කරනු ඇත්තේ සියයට 2.0 ක ඍණ ආර්ථික වර්ධනයකි. 2024 වසරේ දී සියයට 3.3 ක ධන ආර්ථික වර්ධනයක් ද” 2025 වසරේ සියයට ධන 4.0 ක ආර්ථික වර්ධනයක් ද” 2026 වසරේ සියයට ධන 4.5 ක ආර්ථික වර්ධනයක් සහ 2027 වසරේ දී සියයට 5.0 ක ධන ආර්ථික වර්ධනයක් ද වාර්තා කරනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත. මෙසේ ඉදිරි වසරවලදී ක්‍රමයෙන් ධන ආර්ථික වර්ධනයන් වාර්තා කිරීමට නම් අනිවාර්යයෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිවෙන පරිදි පොලී අනුපාත අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම ඇතුළු ඊට ගැළපෙන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රජයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වනු ඇත. තව දුරටත් දැඩි අනයන සීමා ක්‍රියාත්මක වීම සහ මහ බැංකුවේ ඉහළ පොලී අනුපාත ක්‍රියාත්මක කිරීම මගින් ආර්ථිකය සංකෝචනය වීමෙන් මිදීමට නොහැකිය. ඒ නිසා ක්‍රමයෙන් පොලී අනුපාත අඩු කරමින් මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට මෙන්ම දැඩි ආනයන සීමා ද ක්‍රමයෙන් ලිහිල් කිරීමට සිදුවනු ඇත.

● අයිඑම්එෆ් වැඩසටහනේ ප්‍රතිපත්ති

යළිත් ආර්ථික අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා අයිඑම්එෆ් වැඩසටහන යටතේ වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙවර මහ බැංකු වාර්තාව (2022) මගින් අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට නොහැකිව මාස ගණනාවක් ගත කිරීමෙන් පසුව” 2022 වසර මුල දී මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය පියවර ගැනීම ආරම්භ කළ බව ද එහි සඳහන් වේ. මේ අනුවම පැහැදිලි වන්නේ අප අයිඑම්එෆ් සහාය පැතුවේ බොහෝ ප්‍රමාද වීමෙන් පසුව බවයි. ඒ නිසා වන අහිතකර ප්‍රතිවිපාකවලට රටම මුහුණ දුන්නේය. ඒ නිසාම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටමකට පැමිණ ඇති බව මූල්‍ය අරමුදල ඒ වන විටත් තක්සේරු කර තිබුණි. මූල්‍ය අරමුදලෙන් ඕනෑම ආකාරයක මූල්‍ය සහායක් ලබා ගැනීමට පෙර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කටයුතු කළ යුතු වූයේ මේ හේතුවෙනි. මේ ගැන කරුණු දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද සඳහන් කරයි.

.රාජ්‍ය ණය සේවාකරණය තවදුරටත් සිදු කළ නොහැකි තීරණාත්මක අවස්ථාවකට ළඟා වීමෙන් අනතුරුව” 2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී තාවකාලික ක්‍රියාමාර්ගයක් වශයෙන් ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කරමින් විදේශ ණය” ප්‍රධාන වශයෙන් ද්විපාර්ශ්වික සහ වාණිජ ණය සේවාකරණය” රජය විසින් අත්හිටුවන ලද අතර” නොපියවූ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා නිල සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් සහාය ඉල්ලා සිටින ලදී. මීට සමගාමීව” රජය විසින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම” රජයේ වියදම් සීමා කිරීම” රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම” ආනයන පාලන ක්‍රියාත්මක කිරීම හා බලශක්ති සැපයුම සීමා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර” අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා සහාය සැපයීමට ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් මූල්‍ය සහාය ලබා ගැනීමට ද කටයුතු කරන ලදී. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී විස්තීර්ණ ණය පහසුකමක් සඳහා රාජ්‍ය මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණු අතර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන මගින්” අපේක්ෂිත තිරසාර ණය ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකවීම් ලබා ගැනීමට කටයුතු කළේය. 2023 වසරේ මාර්තු මාසයේ දී මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් මාස 48ක් සඳහා වූ දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ අනුමත කරන ලද අතර” පසුගිය දශක කිහිපය තුළ රටේ වර්ධන විභවතාව සීමා කිරීමට මුල් වූ ව්‍යුහාත්මක බාධාවන් සඳහා පිළියම් යොදමින්” ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් ආර්ථික ගැළපුම් වැඩසටහනක් ද මෙයට ඇතුළත් වේ. මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තුළින් සාක්ෂාත් කරගැනීමට නියමිත බහුවිධ ඉලක්ක අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රාජ්‍ය ණයෙහි නිරසාර බව නැවත ස්ථාපිත කරගැනීම ආර්ථිකයේ ස්ථිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා වූ ගමන් මගෙහි ප්‍රධාන සංධිස්ථානයක් වේ. කෙසේ වෙතත්” ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් කෙටිකාලීනව මූල්‍ය අංශය කෙරෙහි අභියෝග ඇති කළ හැකි බැවින් එවැනි අභියෝග සඳහා රජය සහ මහ බැංකුව පූර්වෝපායිකව පිළියම් යෙදීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාවය ඉදිරි කාලයේ දී තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.

මේ අනුව අප මීට පෙර සඳහන් කළ පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවදානම් සහ අභියෝගවලට අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බව අපට පැහැදිලි වේ. මේ ගැන රට තුළ” විශේෂයෙන් ආර්ථික හා මූල්‍ය අංශ තුළ බරපතළ සංවාදයක් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment