සුමන්තිරන්ගේ පෙත්සම විභාගයට ගන්නවාද නියෝගය ඉදිරියේ දී – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

68

සමාජයේ මහත් ආන්දෝලනයට ලක්වූ ඔන්ලයින් පනත හෙවත් 2024 අංක 9 දරන මාර්ගගත ආරක්‍ෂණ පනත නීතියක් ලෙස පනවා ඇති බවට සහතික කරමින් කථානායකවරයා විසින් පසුගිය 1 වැනිදා අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ඉදිරියේ දී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) තීරණය කළේය.

සින්නදුරෙයි සුන්දරලිංගම් හා බාලෙන්ද්‍රන් නීතිඥවරුන් මගින් ගොනු කර තිබූ එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

පෙත්සම්කරු එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පනතක් සම්බන්ධයෙන් බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමේ නීතිමය බලයක් අධිකරණයට නොමැති බැවින් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ම එම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

කථානායකවරයා විසින් එකී පනතට අත්සන් තබා ඇත්තේ එකී පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ විශේෂ පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිගමනයන් අනුව කටයුතු කිරීමකින් තොරව යැයි පෙත්සම්කාර එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. එය බලාත්මක පනතකට තැබූ අත්සනක් ලෙස නොව හිස් කොලයකට තැබූ අත්සනකට සමාන වන්නේ යැයි ද අධිකරණයට පැවසූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා තමා අදහස් දක්වනුයේ සිද්ධියට පාදක වූ කරුණු තහවුරු කිරීම සඳහා මිස නීතිපතිවරයා හෝ වෙනත් පාර්ශ්වයක් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් නොවන බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍ය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් සිය සේවාදායකයා එම පෙත්සම ගොනු කර ඇති බවත් පැවසීය. එබැවින් නීතිපතිවරයා දැක්වූ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කොට පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙස ද නීතිඥ ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා හා කථානායකවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment