15 වැනි ජන හා නිවාස සංගණනය අගෝස්තුවේ සිට

332

මෙරට 15 වන ජන හා නිවාස සංගණනය ලබන මාසයේ (අගෝස්තු) සිට ආරම්භ කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

වසර 10 කට වරක් සිදුකරන මෙම සංගණනය මීට පෙර සිදුකර ඇත්තේ 2012 වසරේදී ය. 2022 වර්ෂයේදී මෙම සංගණනය සිදු කිරීමට නියමිතව තිබුණත් රටේ පැවති විවිධ ගැටලු නිසා එය ප්‍රමාද විය. මෙම සංගණනය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර සිදුකිරීමට අදහස් කරගෙන සිටින බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ වී. ජී. කුමාරි ප්‍රේමතිලක මහත්මිය ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසුවාය.

මෙය දේශපාලන හෝ මැතිවරණ අරමුණින් සිදුකරන සංගණනයක් නොවන බවත් මින් ලබාගන්නා දත්ත මත ජාතීන් අනුව ජනගහනය, වයස්ගත ජනගහනය, ප්‍රතිකාර කළයුතු වයස් මට්ටම්වල පිරිස් ඇතුළු සේවාවන් රැසක් පිළිබඳව තොරතුරු ලබාගන්නා බවත් ඇය කීවාය.

මේ වන විට නිලධාරීන් පුහුණු කර අවසන් බවත්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ලබන මස සිට සංගණන කටයුතු සිදුකරන බවත් මහජනතාවගේ සහයෝගය එම නිලධාරීන්ට ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. මේ සම්බන්ධයෙන් හෙට (26 දා) ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් එම දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

චමින්ද සිල්වා


advertistmentadvertistment