කොළ වර්ණයට ආදරය කර ‘Green Lady’ අත්තම්මා

469

‘Green Lady’ යන ආදර නාමයෙන් හැඳින්වූ ඇය අසූ හැවිරිදි මිත්තනියකි. ‘‘එළිසබෙත් ඊටන් රොසන්තාල්’’ 1941 වසරේ ජූනි මාසයේ 21 වැනි දින කැනඩාවේ උපත ලැබුවාය. ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කළ ඇගේ දෙමව්පියන්ටත් තමන්ගේ දියණිය හදා වඩා ගැනීමට තරම් ආර්ථික හැකියාවක් නොතිබුණ නිසා එලිසබෙත්ගේ අත්තම්මා සහ සීයා ඇය හදා වඩා ගත්තාය. කුඩා පැල්පතක ජීවත්වුන මේ පවුල ඔවුන්ගේ කුඩා පැල්පත සාදා ගත්තේ ඉවතලන දේ උපයෝගී කර ගෙනය. ඒ වගේම ඇගේ අත්තම්මා බෙහෙවින්ම ඇඳුම් මැසීම, මෝස්තර නිර්මාණය සහ සියුම් අත්වැඩ කලාවට දක්ෂකම් පෙන්වන ලද කාන්තාවක් විය. ඒ නිසාම එළිසබෙත්ටත් බාල කාලයේ පටන්ම අත්කම් සහ කලා කටයුතු වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වනු ලැබුවා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලයට ඇතුළත් එලිසබෙත් මෝස්තර නිර්මාණය සඳහා කැනඩාවේ ‘‘මවුන්ට් ඇලිසන්’’ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නිර්මාණ ශිල්පි ‘‘‘ඇලෙක්ස් කොල්විල්’’ යටතේ අධ්‍යාපනය ලැබුවාය. මේ අතර ඇය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණියේ මෝස්තර නිර්මාණ ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණ ඇතුව වුණත් එලිසබෙත්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැත. ඒ නිසා ඇය නිව්යෝක් නගරයට යෑමට තීරණය කළ අතර අතේ තිබුණේ කොට්ටයක් සහ සටහන් පොතක් පමණි. මේ අතර එළිසබෙත් ඇඟලූම් කර්මාන්තශාලාවක රැකියාවක් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වූ අතර එම ආයතනය ඇගේ හැකියාවන් ගැන මහත් සේ සතුටට පත් විය. මෙම ආයතනයේ මෝස්තර නිර්මාණ දෙපාර්තමේන්තුවේ සේවයට සම්බන්ධ වූ එලිසබෙත් වසර ගණනාවක්ම ඉතාමත් සතුටින් මෙම ඇඟලූම් ආයතනයට සම්බන්ධව කටයුතු කළා.

  • මගේම මෝස්තර නිර්මාණ ආයතනයක්…

දැන් මටම කියලා මෝස්තර නිර්මාණ ආයතනයක් පටන් ගැනීමට කාලය ඇවිත්. ඇය තීරණය කළා. ඇගේ හිතමිතුරන්ද එළිසබෙත්ගේ සහායට ඉදිරිපත් වුණේ බොහොම කැමැත්තෙන්. 1987 වසරේදී එලිසබෙත් ‘SweetPea’ නමින් මෝස්තර නිර්මාණ ආයතනයක් ආරම්භ කළාය. කාලය සමග දැන් වෙනස් විය යුතුයි… එලිසබෙත් තීරණය කළා. 2002 වසරේදී ඇය ඇඳුම් නිර්මාණය වෙනුවට ඇඳුම් පින්තාරු කිරීමට යොදා ගන්නා තීන්ත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. ඇය එතැනින් නැවතුනේ නැහැ. Michael Kors, Liz Claiborne, Calvin Klein, American Eagle Outfitters සහ Ralph Lauren වැනි ජනපි‍්‍රය සන්නාම වෙනුවෙන් අතින් අඳින ලද විවිධ මෝස්තර සකස් කිරීමටත් ඉදිරිපත් වුණා.

  • වර්ණ සමග ජීවත් වුණත් ඇය ඇලූම් කරන්නේ කොළ පැහැයට පමණයි…

මෝස්තර නිර්මාණයේදී ඇගේ පින්සල විවිධ වර්ණ සංයෝජන වෙනුවෙන් යොදා ගත්තත් ඇය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ කොළ වර්ණය පමණයි. මේ ගැන අදහස් දක්වමින් එලිසබෙත් කියන්නේ කොළ කියන්නේ ධනාත්මක වර්ණයක් බවයි. ඒ වගේම පි‍්‍රයජනකයි. අපේ ඇසට නිතරම ගැටෙන්නේ කොළ පාටයි. මම කැනඩාවේ සිට නිව්යෝක් නගරයට පැමිණියත් මගේ හිතේ ජිවත් වුණේ කැනඩාවේ මගේ ඇස තදින්ම ග‍්‍රහණය කර ගත් කොළ වර්ණය නිසා මගේ ජීවිතයම කොළ වර්ණයෙන් සරසන්න මම උනන්දු වුණා.

  • හිසේ සිට දෙපතුල දක්වාම…

එළිසබෙත්ගේ හිස සිට දෙපතුළ දක්වාම ඇත්තේ කොළ වර්ණයයි. කොටින්ම ඇගේ හිසකෙස් පවා කොළ වර්ණයෙන් වර්ණවත් කර තිබෙනවා. ඇයට මොළයේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට වුණ අවස්ථාවක ශල්‍ය වෛද්‍යවරයා පවා මේ අපූරු කාන්තාවගේ කොළ වර්ණ ගැන්වූ කෙස් නොකපාම ශල්‍යකර්මය සිදු කළා. සමහර විට කොළ පැහැයේ ධනාත්මක බව නිසාම වෙන්නත් ඇති. ඇගේ නිවස සම්පූර්ණයෙන්ම කොළ පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. දොර, ජනේලවල දැව පැහැය නැත. නිවසේ බලූ සුරතලාත් කොළ පැහැයෙන්ම ඇය සමීපයේ සිටී. මුළුතැන්ගෙයි සියලූ ආම්පන්න පවා කොළ පැහැතිය.

මේ කොළ වර්ණය සහ ඇගේ මානසිකත්වය අතර පවත්නා සහසම්බන්ධතාව නිසාම විටෙක එළිසබෙත් විටෙක ආසාමාන්‍ය සිදුවීම් ගැන පවා වාර්තා කරනවා. 2015 වසරේ ‘‘හැලොවින්’’ උත්සවය දින මගේ නිවසේ දොරට කවුදෝ තට්ටු කළා. මම දොර ඇරියා. හිස පටන් දෙපතුල දක්වාම කොළ ඇඳුම් ඇඳගෙන සිටි තරුණියක් හිටියා. ඇය එකවරම අතුරුදන් වුණා. සමහර විට මේ ඇගේ මනෝ සිතුවමක් විය හැකියි. මෝස්තර ශිල්පි ‘‘රොබර්ට් රොසන්තාල්’’ සමග විවාහයෙන් ලත් පුතු මනෝවෛද්‍යවරයෙකි. එහෙත්.. මේ මනෝ වෛද්‍යවරයාද තම මවගේ මේ කොළ පැහැයට ඇබ්බැහි වීම ගැන කිසිදු විරෝධතාවක් දක්වන්නේ නැත.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment