මම තනිකඩ ගැහැනියක් – ගුරු රස්සාවට කම්මැලි නෑ

397

සල්ලි පොකුරු හි සුභා අයේෂා ගැන කියන කතාව

මේ දවස්වල හැමෝම කතාබහ වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරනු ලබන සල්ලි පොකුරු හි සුභා ඇයයි. ඒ විතරක් නෙමෙයි. දිව්‍යාදරී හි දීප්ති වගේම නීල පබළු හි රිද්මා ද ඇයමයි. ඇත්තටම කවුද මේ ඇය. ඇය වෙන කවුරුවත් නෙමෙයි වනස්පතියෙන් ගුරුවරියක් වූ අයේෂා දිසානායකයි. මේ අයේෂාගේ හඬයි.

● සුභා ගැන කට්ටිය මොනවද කියන්නේ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ දිව්‍යාදරී වගේම නීල පබළු ටෙලි නාට්‍යයත් විකාශනය වෙනවා. ඒ වුණාට සල්ලි පොකුරු ගැන කට්ටිය වැඩිපුර කතාබහ වෙනවා.

මම තනිකඩ ගැහැනියක් - ගුරු රස්සාවට කම්මැලි නෑ

● මොකද ඔච්චර කට සැර

සුභා කියන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අත්දැකීම මට නැති වුණාට මගේ ඇඟෙන් නිතැතින්ම එන දෙයක් තිබුණා. ඉතිං ඒ චරිතයට එන්න මට ලොකු අමාරුවක් වුණේ නැහැ. සුභා කියන්නේ ස්කීම් එකක ජීවත්වෙන චරිතයක්නේ. මටත් ඔය කටසැර ගතිය තියෙනවා. හැබැයි මම ඕනෑ තැනදී විතරයි කතා කරන්නේ. ගොඩක් දේවල්වලදී නිහඬ වෙලා ඉන්නවා. හැබැයි මගේ කට ටිකක් සැරයි.

● දැන් ගුරු වෘත්තියෙන් ඈත් වෙලාද?

අනේ නැහැ. ගුරු වෘත්තිය මට දෙවියන්ගෙන් ලද දායාදයක් කියලා හිතෙනවා. ඒකෙන් තමයි මගේ ජීවිතයට ආලෝකයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඒ වෘත්තියෙන් කිසිසේත්ම අයින් වෙන්නේ නැහැ. දරුවන්ට වගේම ඒ රස්සාවට මම හරි ආදරෙයි. හැබැයි පසුගිය කාලයේ මට රඟපාන්න හරි කම්මැලිකමක් තිබුණා.

● ඇයි ඒ?

අනේ මන්දා මේ මොහොත වෙනකොට ඒක නැහැ. මට ආපු ගොඩක් ආරාධනා අතහැරලා වැඩිපුර ඉස්කෝලෙ ළමයි එක්ක ඉන්න උත්සාහ කළා. ඒ අදහස වෙනස් වුණාට පස්සේ මට හම්බවුණේ හරි උද්‍යෝගයෙන් කරන්න පුළුවන් වැඩ. රඟපානවා කියන එක දැනෙන කොට ඒකට මම දැන් හරි ලෝභයි.

● සුභා ගැන කියලා ඉස්කෝලේ ළමයි විහිළු කරන්නේ නැතිද?

ඉස්කෝලේ ළමයි එක්ක තියෙන උනන්දුවත් එක්ක තමයි තේරෙන්නේ කොච්චර ප්‍රේක්‍ෂකයෝ ටිකක් සල්ලි පොකුරු එක්ක ඉන්නවාද කියලා. හැබැයි මම ළමයිව නාට්‍ය කතාබහත් එක්ක ටිකක් අයින් කරලයි තියෙන්නේ. මොකද ඕක ගැන කිය කිය ඉන්න ගියොත් උගන්වන්න වෙන්නේ නැහැනේ.

● දැන් කොහේ ඉස්කෝලෙද උගන්වන්නේ?

මගේ මුල් පත්වීම ලැබුණෙ නුගේගොඩ අනුලා විද්‍යාලයේ තමයි තවම මම උගන්වන්නේ. දැන් අවුරුදු 12 ක් විතර වෙනවා. මාරුවීමක් ඇවිත් තියෙන්නේ. මාරුවීම රෝයල් එකට ඇවිත් තියෙන්නේ.

● ෂූටින් හින්දා ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැතිද?

මම ඒක හරියටම කරනවා කියලා හිතනවා. ගොඩක් අය කියන්නේ රඟපාන අයට ගොඩක් වෙලාවට ඉස්කෝලේ වැඩ බැලන්ස් කරන්න බැහැ කියලයි. මම දන්නේ නැහැ මම ඒක කොහොම කරනවාද කියලා.හැබැයි කවමදාකවත් මම රඟපෑමත් එක්ක නෝපේ ගිහිල්ලා නැහැ. මම දන්නේ නැහැ හෙට දවසේ මොනවා වෙයිද කියලා. මම ඒ වැඩේ හරියටම කරනවා. ඉස්කෝලේ ළමයින්ට කිසි අසාධාරණයක් වෙන්නේ නැහැ. මම සිලබස් එක කවර් කරනවා. ඉස්කෝලේ දෙන ඕනෑ වැඩක් මම කැපකිරීමෙන් කරනවා.

● මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

මේ ආපු ගමනත් ලේසි පහසු නැහැ. මොකද මගේ ගමත් බදුල්ලේ. බදුල්ලේ ඉඳලා කොළඹට එනවා කියන එක ලොකු අමාරුවක් නෙමෙයි. හැබැයි කොළඹ ඇවිල්ලා ජීවත්වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.

● මුලින්ම කොළඹ ආවේ?

මම මුලින්ම කොළඹට ආවේ ටවර් හෝල් නාට්‍ය පාසලට. ඊට පස්සේ ඒකෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරිලා ඩ්‍රාමා ස්පෙෂල් කළේ. ඒත් එක්කම මට ගුරු රස්සාව හම්බවුණා. මම වගේ තනිකඩ ගැහැනියකට කොළඹ රැඳිලා ඉඳීම හරි අමාරුයි. මම තවමත් තනිකඩයි. ඒකත් එක්ක ජීවිතයේ ලොකු යුද්ධයක් තියෙන්නේ. නමුත් මගේ හිත හයියයි. ඒ හින්දා කොහොම හරි අල්ලගෙන ඉන්නවා.

● අධ්‍යක්‍ෂවරු සහ නිෂ්පාදකවරුන්ගේ අයුතු බලපෑම්වලට මුහුණ දුන්න අවස්ථා තියෙනවාද?

මට නම් කවදාවත් එහෙම ආරාධනා ඇවිත් නැහැ. වැඩ ඇතුලේ එහෙම කැමැත්තවල් තිබිලා තියෙනවා කියලා මට දැනිලා තියෙනවා. ඒක සාපේක්‍ෂයිනේ. හැබැයි මට එහෙම බලපෑම් කරලා නැහැ. මම මෙතැනට ආපු තැනේ තියෙන බර හින්දා වෙන්න ඇති. මම ආවේ වේදිකාවෙන්. ඒ හයිය මට තිබෙනවා. ඒ හයියත් එක්ක මට එහෙම බලපෑම් ආවේ නැහැ. අනික මට රඟපෑම ඇතුලේ පොරබදාගෙන රැඳිලා ඉන්න ඕනෑ කියලා දෙයකුත් නැහැ. අනික මට ජනප්‍රිය වෙන්න කියලා එහෙම මේනියාවකුත් නැහැ.

● තනිකඩකමින් මිදුනොත් නරකද?

තනිකඩ ජීවිතය ඉවර කරන්න හදනවා හැමදාම. නමුත් අවාසනාවකට ජීවිතයට එන අය ජීවිතයේ රැඳෙන අය නෙමෙයිනේ. ඒක මම හිතන්නේ මගේ අවාසනාව කියලා. ආදරය හැමදාම එනවා එක එක ආකාරයෙන්. මම ඉතින් නැවතත් අවිශ්වාස කරන්නේ ආදරයමයි. එතකොට ආයෙමත් මංමුලා වෙනවා. ඉතිං ඔහොම තමයි. කොහොම වුණත් තවම තනිකඩයි මං ළඟම නතර වෙන්න ආදරයක් ආපු දාට තනිකඩකම නැතිවේවි.

● අයේෂාට අලුත් ආරාධනා ලැබුණාද?

මේ දවස්වල නම් ඇත්තටම වෙනත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට කාලයක් නැහැ. වැඩ ගොඩක් භාරගත්ත. මෙගා නාට්‍ය තුන හතරකට වඩා මට භාරගන්න බැහැ මගේ රස්සාවත් එක්ක. මොකද ඉස්කෝලේ යන්නත් එපායැ.

● ගුරු වෘත්තියෙන් ඉවත්වෙලා දිගටම රඟපාන්න අදහසක් නැතිද?

ගුරු රස්සාවට මම හරි ආදරෙයි. ඒක මගේ ජීවිතය වෙනස් කරන්න මට වෙනස් වෙන්න හම්බවුණ රස්සාවක්. ඒ රස්සාව මාව වෙනස් කළා. ඉතිං මම හරි ආදරෙයි ඒකට. මම කවදා හරි දවසක රඟපෑමෙන් අයින් වුණත් ගුරු වෘත්තියෙන් ඉවත් වෙන එකක් නැහැ. මම ඒකට හරි ආදරෙයි. දරුවන්ට හරි ආදරෙයි. මම හරි ආසයි උදේට ඉස්කෝලෙ යන්න. ගුරු රස්සාවට කම්මැලි නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment