අධික මිලට නේවාසික රෝගියකුට ඖෂධ විකිණීම: පෞද්ගලික රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට විරුද්ධව ලබන 12 තෙක් පියවර ගන්නේ නැහැ- නීතිපති උසාවියට කියයි

149

නේවාසික රෝගියකුට ලබාදුන් ඖෂධ සඳහා වැඩි මුදලක් අයකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කළ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව ලබන 12 වැනිදා දක්වා පියවර නොගන්නා බවට නීතිපතිවරයා හා අගතියට පත් පාර්ශ්වය ඊයේ (26දා) අභියාචනාධිකරණයට එකඟතාව පළ කළහ.

තමන්ට එරෙහිව පෙර කී සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නොතිසි නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා එකී රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මිහිරි ද අල්විස් මහත්මිය හා එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම එකඟතාව පළ කළහ. එකී එකඟතාව අනුව පෞද්ගලික රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම ලබන 12 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම පෞද්ගලික රෝහලට ඇතුළත් කළ සිය මවට ලබාදුන් ඖෂධ සඳහා ඉතා අධික මුදලක් අයකර ඇති බවට සත්‍ය කුමාර අතුකෝරල මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම පෞද්ගලික රෝහලට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය, බිල් ලිපිකාරිනිය ඇතුළු 11 දෙනකුට එරෙහිව පවරා තිබූ එම නඩුව ස්ථිර මහෙස්ත්‍රාත්වරිය නොමැති අවස්ථාවකදී මෝසමක් මගින් කැඳවා තිබූ අතර අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි බලයලත් නියෝජිතයාට රුපියල් 25,000ක දඩයක් නියම කර නඩු කටයුත්ත අවසන් කිරීමට එම අධිකරණයේ වැඩබලන නිල නොලත් මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ නීතිඥවරිය නියෝග කොට තිබිණි. එකී නියෝගය නීති විරෝධී නියෝගයක් බව පෙන්වා දෙමින් අගතියටපත් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මගින් නඩුව කැඳවා ස්ථිර මහෙස්ත්‍රාත්වරියට පෙන්වා දී තිබිණි.

ඒ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත නොතිසි යවා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment