අරගල සිදුවීම් දඬුවම් මාරු ලැබූ ඕඅයිසීලා ගැන ගන්න පියවර නීතිපති උසාවියට කියයි

65

පොලිස්පතිත් අධිකරණයට එයි

ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරුන්ට යළි පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාදෙන බවට පොලිස්පතිවරයා මින් පෙර අධිකරණයට පොරොන්දු වී ඇතත් එම පොරොන්දුව අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණය හෑල්ලුවට ලක්කර ඇතැයි

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (05දා) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

තම අධිකරණය හමුවේදී ලබාදුන් පොරොන්දුව අනුව කටයුතු කළ නොහැක්කේ නම් ඒ පිළිබඳව මෝසමක් මගින් හෝ අධිකරණය දැනුවත් කළ යුතුව තිබූ බවත් එසේ නොකර අධිකරණය දැනුවත් නොකර සිටීම වැරදිසහගත ක්‍රියාවක් මෙන්ම අධිකරණ නියෝග නොසලකා හැරීමක් වන්නේ යැයි ද පෙන්වා දුන් අගවිනිසුරුවරයා පොලිස්පතිවරයාව පෞද්ගලිකව අධිකරණය හමුවට කැඳවීමට තම අධිකරණය තීරණය කරනු ලැබුවේ එකී කරුණු නිසා වන්නේ යැයි ද පැවසීය. පෙර නඩු දිනයේදී පොලිස්පතිවරයා අධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව පෙත්සම්කාර පොලිස් නිලධාරීන්ට වව්නියාව, කිලිනොච්චිය, යාපනය හා මන්නාරම යනාදී ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. එකී මාරුවීම් අධිකරණයට ලබාදුන් පොරොන්දුවලට පටහැනි දඬුවම් මාරුවීම් බව පෙනී යන්නේ යැයි පෙත්සම්කාර පොලිස් නිලධාරීන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

අරගල සමයේ තම පොලිස් බලප්‍රදේශවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් මැඩපැවැත්වීමට අපොහොසත් වූයේ යැයි කියන චෝදනා යටතේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනාට සාධාරණය ඉටුකිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව සමග සාකච්ඡා කර සුදුසු පියවර ගන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ලබන 18 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් එහිදී එම නිලධාරීන් පස්දෙනා සම්බන්ධයෙන් ගනු ලබන නිර්දේශ කඩිනමින් අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. 2022.05.09 වැනිදා ප්‍රදේශයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් ඉතා අසාධාරණ ලෙස තමන්ව පොලිස් ස්ථානාධිපති තනතුරුවලින් ඉවත් කිරීම අභියෝගයට ලක්කරමින් දඹුල්ල, දන්කොටුව, හෙට්ටිපොල, මීගමුව හා වාරියපොල යන පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ අයගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය,

ගාමිණි අමරසේකර හා මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සම් පහ ලබන 29 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත එදින අධිකරණයට වාර්තා කරන ලෙසට නීතිපතිවරයාට නියෝග කළේය. පසුගිය 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment