අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද ජනතා අයිතියට

99

රුපියල් මිලියන එකොළොස් දහස් පන්සීය පහළොවක ආයෝජනයක් වන එක් ලක්ෂ පහළොස් දහස් හයසීයක ජනතාවකට සෙත සැලසෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 ජනතා අයිතියට පත් කිරීම අද 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර මහකනදරාව ජල පවිත්‍රාගාර පරිශ්‍රයේදී සිදු කෙරේ.‍

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගී ව්‍යාප්තිය ඉහළ යමින් පැවතීම නිසා එයට විසඳුමක් වශයෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය සහ රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් හැත්තෑ පහක ජීවත්වන ජනතාවට පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත පානීය නල ජලය මෙම ව්‍යාපෘතිය මගින් හිමි වේ. මෙම ව්‍යාපෘතියට (ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මඟින් ලබා දුන් ජපන් යෙන් මිලියන පන්දහස් එකසිය හැට හයක ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ රු. මිලියන දෙදහස් හත්සීය අසු නවයකප්‍රතිපාදන ඇතුලත් වේ.)ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් නිම කළ මෙම ව්‍යාපෘතියෙන් නව ජල සම්බන්ධතා විසි පන්දහසක් ලබා දීමට නියමිතය. දිනකට ඝණ මීටර් හයදහස් හත්සීයක ජල ධාරිතාවකින් යුතු මෙම ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රය මහකනදරාව ජලාශයයි.

මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජපන් රජයේ තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිතයින්, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී ආචාර්ය තනක අතිහිකො මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් හා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව සහභාගී වීමට නියමිතය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment