අම්මා රට; සුළු පියාගෙන් පහර කෑ දරුවා මියයයි

155

කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සුළු පියකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ 11 හැවිරිදි පිරිමි දරුවකු පෙරේදා (9 දා) ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.

දරුවාගේ මවගේ දෙවැනි විවාහයේ පුරුෂයා නිවස තුළ දී දරුවා ට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. මවු විදේශගතව රැකියාවක් කරන අතර දරුවාගේ පියා දික්කසාද වී සිටින බව හෙළිවිණැයි පොලිසිය පවසයි.

දරුවාගේ පියා කාත්තන්කුඩි පොලිසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ අදාළ සැකකරුගේ පහරකෑමට ලක්ව තම දරුවා මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසියේ නිලධාරිහු කණ්ඩායමක් විසින් සැකකාර සුළු පියා අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ පදිංචි 26 හැවිරිදි අයෙකි. කුෂාන් හජින් නමැති සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. සුළු පියාගේ අමානුෂික පහරකෑමට ලක්ව මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා පෙරේදා දහවල් මියගොස් ඇත. සැකකාර සුළු පියා දරුවාව රෝහලට ඇතුළත් කරනවිට රෝහල් වෛද්‍ය වරුන්ට දරුවා බයිසිකල් පදිමින් සිටිය දී වැටුණු බව ප්‍රකාශ කර තිබේ. එහෙත් මෙම ප්‍රකාශය පිළිගත නොහැකි බව දරුවාගේ පියා රෝහල් බලධාරීන්ට පවසා තිබේ.

ඒ අනුව එම රෝහලේ දී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී දරුවාගේ අත්පා වල ශරීරයේ සෑම තැනක වයරයක් වැනි දෙයකින් පහරදුන් සලකුණු අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට දක්නට ලැබී ඇත. ඒ අනුව සැකකාර සුළු පියාගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ දරුවා බොරු පැවසීම නිසා හෝස් බටයකින් පහරදුන් බවය. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කාත්තන්කුඩි කරඹලා ආරියම්පති ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අස්ලි මොහොමඩ් ආරින් නමැති සිඟත්තෙකි. මේ පිළිබඳව කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රහීම් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment