නඩු ලිපිගොනු හපා කෑව නීතිඥවරිය යළිත් රිමාන්ඩ්

320

ඉඩම් නඩුවකට අදාළ නඩු ලිපි ගොනුවකට අමුණා තිබූ රජයේ රස පරීක්ෂකවරයා සහතික කරන ලද වැදගත් ලේඛන 2 ක් සපා කා විනාශ කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර නීතිඥවරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥ ටිරෝන් විජේරත්න මහතා කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර මහතා විසින් යළි ප්‍රතික්ෂේප කරන ලදී.

සැකකාර නීතිඥවරිය තවදුරටත් මේ මස 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ජුලි 31 වැනි දා ලබා ගත් ඇගේ රුධිර සාම්පල ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසට කැකිරාව පොලිසියට තවදුරටත් නියෝග කළේය.

මෙසේ යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ නීතිඥවරියක වන රෝෂනී අබේරත්න නමැති කැකිරාව සෙක්කුපිටිය පදිංචි කාරියකි.

නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය කියා සිටියේ මෙම සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ අද දින අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන බවයි.

සැකකාරිය මෙම ලේඛන පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේදී අධිකරණ නිලධාරීන් එය නොදුටුවේ නම්, සැකකාරිය අදාළ ලේඛන ඉතා සූක්ෂමව පැහැර ගැනීමට ඉඩ තිබූ බව ද සඳහන් කළ පොලිස් නිලධාරීන් එසේ වූයේ නම් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ, අධිකරණ නිලධාරීන් කිහිපදෙනකුගේ රැකියා පවා අහිමි වීමේ අවදානමක් තිබූ බව ද කියා සිටියහ.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ටිරෝන් විජේරත්න මහතා පැවසුවේ සැකකාරිය පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් එකී රෝගී තත්ත්වය සඳහා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි, ඒ අනුව ඇගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් සේ සලකා, සැකකාරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ද නීතිඥවරයා අධිකරණයෙන් අයැ ද සිටියේය. ඇප දෙනවාට පොලිසිය දැඩි විරෝධය පළ කළහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment