පිරමීඩ ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම…

2479

පසුගිය කාලය තිස්සේ පිරමීඩ ජාවාරම් රට තුළ බොහෝ දුරට පැතිර ගොස් තිබේ. මේ ගැන මහ බැංකුවට ද බොහෝ මහජන පැමිණිලි ලැබී ඇත. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි මහජන පැමිණිලි ලැබෙන්නේ යම් පිරමීඩ ජාවාරමකින් සැලකිය යුතු පිරිසක් අමාරුවේ වැටුණු පසුවය. එසේ මහජන පැමිණිලි ලැබුණු විට මහ බැංකුව ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පටන් ගනී. එසේ විමර්ශනය කිරීමෙන් පසු යම් යෝජනා ක්‍රමයක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට මහ බැංකුව විසින් නිශ්චය කළහොත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළ කර ඒ ගැන මහජනයාට දැනුම් දීමට මහ බැංකුව පියවර ගනී. මහ බැංකුව විසින් ආයතන 9ක් පමණ මේ වන විට පිරමීඩ ව්‍යාපාර බවට නම් කර පුවත්පත් දැන්වීම් පළ කර ඇත්තේ මේ ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් පසුව බව අපගේ වැටහීමයි. එහෙත් අප දන්නා තරමින් මේ ක්‍රියාවලිය වන විට විශාල පිරිසක් මේ ජාවාරම්වලට හසුව තම ධනය අහිමි කරගෙන අවසානය. මේ නිසා අපට මතුවන ප්‍රශ්නයක් වන්නේ බැංකු පනතේ 83 (ඇ) වගන්තිය අනුව පිරමීඩ ව්‍යාපාරවලට එරෙහිව තිබෙන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වන්නේ ද යන්නයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන තුනක් නිකුත් කිරීමට ක්‍රියා කළේය. එයින් දෙකකින්ම ආයතන කිහිපයක්ම පිරමීඩ ව්‍යාපාර බවට නම් කර මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළේය. ඒ නිසා මේ දිනවල පිරමීඩ ජාවාරම් ගැන සමාජය තුළ ලොකු කතාබහක් තිබේ. දැනට මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාවලිය අනුව නම් යම් යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට නම් කරන අවස්ථාව වන විට බොහෝ පිරිසක් එම ජාවාරම්වලට හසුව අමාරුවේ වැටී ඇති නිසා අප සිතන්නේ අවශ්‍ය කරන්නේ මේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන අවස්ථාවේ දීම මේ ගැන නීතිය ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීමයි. මෙය ඔප්පු කළ යුතු නිසාත් මෙය තාක්ෂණික කරුණක් නිසාත් මෙය ප්‍රායෝගිකව සිදු කිරීමේ අපහසුවක් තිබේ. එහෙත් මහ බැංකුව පිරමීඩ ව්‍යාපාරයක් බවට නම් කළ පසුවත් ඒ ගැන ගම මට්ටමින් නොයෙකුත් රැවටිලි සහගත කතා කියමින් ඒවා තවදුරටත් ප්‍රසිද්ධියේම ප්‍රවර්ධනය කරන බව ද අපට දැනගන්නට තිබේ. ඒවා සම්බන්ධයෙන් නම් පිරමීඩ ව්‍යාපාරයක් බවට ඔප්පු කිරීම පිළිබඳ ගැටලුවක් ඇති නොවන බව අපගේ අදහසයි. එහෙත් මෙවැනි ප්‍රවර්ධනය කරන අවස්ථා සම්බන්ධයෙන් මහ බැංකුවට ගම් මට්ටමට ගොස් වැටලීම් කළ නොහැකි බව අපි පිළිගනිමු. ඒ සඳහා මහ බැංකුවේ තාක්ෂණික සහාය ද ඇතිව ක්‍රියාත්මක විය යුතුව ඇත්තේ පොලීසියයි. ඒ නිසා අප සිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය එක්ව මේ සඳහා ක්‍රියාත්මක විය යුතුව ඇති බවයි. පොලිසිය සඳහා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ක්‍රියා කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව අපගේ අදහසයි. එහෙත් එය ප්‍රමාණවත් මට්ටමින් සිදුවන බවක් අපට පෙනෙන්නට නැත. ඒ නිසා මේ ගැන මහ බැංකුවේ අවධානය යොමු කළ යුතුව තිබේ. එසේ නැතහොත් මහ බැංකුව පිරමීඩ ව්‍යාපාර බවට නම් කරන ආයතන සම්බන්ධයෙන් පවා පවතින නීතිය නිසි ලෙස ඉටුවනු ඇතැයි අපට සිතිය නොහැකිය.

මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතා මහ බැංකු මාධ්‍ය හමුවල දී අප අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ගැන සඳහන් කරමින් නීතියේ ඇති ප්‍රතිපාදන ගැන සඳහන් කරයි. එහෙත් අප කියා සිටින්නේ මේ කියන නීතිය එම වගන්තියේ වචනවලට පමණක් සීමා වී ඇති බවයි. මේ නිසා අවශ්‍ය කරන්නේ නීතියේ ප්‍රතිපාදන තිබෙන බව කියා සිටීම නොව පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී හෝ මේ කියන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමයි. එසේ නොවීම නිසා රට පුරා පිරමීඩ ජාවාරම් පිළිබඳ ප්‍රවර්ධන කටයුතු ඉතා ප්‍රසිද්ධියේ ජයටම සිදුවන බව අපට නිරීක්ෂණය කළ හැකිව තිබේ. නීතියෙන් මේ පිරමීඩ ජාවාරම් ප්‍රවර්ධනය තහනම් නමුත් ඊට එරෙහිව කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වන බවක් අපට පෙනෙන්නට නැත. මේ නිසා මහ බැංකුවට මහජන පැමිණිලි ලැබී යම් යෝජනා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට නිශ්චය කරන අවස්ථාව වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. මේ ගැන මහ බැංකුව විසින් අපරාධ නඩු පැවරීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබුණත් එම ආයතනවලට නඩු පවරා තිබේ ද යන්න හෝ ඒවාට කුමක් සිදු වූයේ ද යන්න ගැන අපට දැනගන්නට නැත. මේ ගැන පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් ඉතා පැහැදිලි ප්‍රශ්නයක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසුව ද මහ බැංකුව විසින් පිරමීඩ ව්‍යාපාර ලෙස නම් කර ඇති ව්‍යාපාරවලට හෝ ඉන් කොපමණ ප්‍රමාණයකට නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ද යන්න ගැන අපට නිසි පිළිතුරක් ලැබුණේ නැත. නඩු පැවරීම් සිදු කළත් ඒ නඩු කොපමණ කලක් විභාග වනු ඇති ද යන්නත් ප්‍රශ්නයකි.

පිරමීඩ ව්‍යාපාර ගැන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනයේ මෙසේ සඳහන් විය.

‘මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවා දැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත.

■ ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.

■ යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.

■ යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකළහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවන බව.

■ මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.’

මහ බැංකුව විසින් මේ කියන ආයතනවල රැවටීම් ගැන මහජනයා දැනුවත් කිරීම අපි ඉතාම අගය කරමු. එහෙත් මෙසේ ප්‍රකාශ කරන ආයතන සම්බන්ධයෙන් මහ බැංකුව හෝ නීතිය ක්‍රියාත්මක කරන අංශ ගන්නා පියවර කුමක් ද? පිරමීඩ ජාවාරම් සිදු කිරීම අපරාධමය වරදක් නම් එම ආයතන විසින් කිසිදු බයක් සැකක් නැතුව මහ බැංකුවේම නම පවා සඳහන් කරමින් ඉහත සඳහන් කළ ආකාරයේ ප්‍රකාශ සිදු කරන්නේ නම් ඒ ගැන මහජනයා දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් ද? කිසිසේත්ම නැත. ඇතැම් ආයතන එම ව්‍යාජ සහ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජන ලබා ගැනීමට කටයුතු කරන බවට මහජන පැමිණිලි රැසක් මහ බැංකුවට ලැබී ඇත්නම් ඒ පැමිණිලි ගැන මහ බැංකුව ගත් පියවර කුමක් ද? මහ බැංකුවම කියන එම වංචනික ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය බලාත්මක කරන ආයතන ලවා හෝ මෙතෙක් කිසිදු පියවරක් ගත්තේ නැද්ද? මේ සම්බන්ධයෙන් මහ බැංකුව පළ කරන දැන්වීම්වල වචනයක්වත් සඳහන් නොවන්නේ ඇයි? මහ බැංකුවේ මේ ක්‍රියාකලාපය එම වංචනික ආයතනවලට තම මහජන මුලා කිරීම්වලට තවත් අනුබලයක් සපයන බව අපගේ අදහසයි. එසේ නැතුව ඉහත කී ආයතනවලට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගැනීම සඳහා මහ බැංකුව කිසියම් පියවරක් ගෙන ඇත්නම් හෝ අඩු තරමේ ඒ ගැන පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්නම් ඒ ගැන ද මහජනයා දැනුවත් කිරීම මැනවි. මහ බැංකු අධිපතිවරයාම කියන පරිදි මේ පිරමීඩ ව්‍යාපාරවලට පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරීන් පවා සම්බන්ධ වී ඇත. එසේ නම් ඔවුන් තම පහළ පොලිස් නිලධාරීන් හෝ තමා යටතේ සිටින පහළ රාජ්‍ය නිලධාරීන් මේවාට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම ද වැළැක්විය නොහැකිය. මේ පිරමීඩ ව්‍යාපාරවලට පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරීන් පවා සම්බන්ධ වී ඇති නිසා (මේ බව කියන්නේ රටේ මහ බැංකු අධිපතිවරයාය) මේ ගැන සොයා බලා පියවර ගැනීම සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයාගේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානය යොමු කිරීමට ද කැමැත්තෙමු. එම එක් නිලධාරියකුට හෝ දැඩි විනය පියවරක් ගත හැකි නම් එසේ රාජ්‍ය නිලධාරීන් මේවාට යොමුවීමට බියවනු ඇත.

මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට ලබාදෙන උපදෙස් ගැන අප අගය කරන අතර එහෙත් මේ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමකි. මේ වගකීම හරි හැටි ඉටුවන බවක් නොපෙනෙන නිසා මේ සම්බන්ධයෙන් අඩු තරමේ දැනට නීතියේ තිබෙන ප්‍රතිපාදන හෝ ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කරන ලෙස මේ රටේ මහජනයා වෙනුවෙන් අපි මහ බැංකුවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනවල ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇත. ඒ නිසා මහ බැංකුවට නියාමනය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයකින් වගකිව හැක්කේ එම ආයතන ගැනය. ඒ නිසා මහ බැංකුවේ නියාමනයක් නැති මෙවැනි වංචනික ව්‍යාපාරවලට හසු නොවී සිටීමට මහජනයාට ද වගකීමක් තිබේ. ඔවුන් ද ඒ ගැන අවදියෙන් සිටිය යුතුය. මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද මහජනතාවට නිරන්තරයෙන්ම උපදෙස් දෙනු ලබයි. කිසිම දිනෙක පිරමීඩ ජාවාරමකට හසු නොවී සිටීම සඳහා ඔබට ඉතා සරල උපදෙසක් මේ ලියුම්කරුට ද සඳහන් කළ හැකිය. එනම් කෙතරම් වාසි ලැබෙනවා යැයි කීවත් තවත් අය බඳවා ගැනීමට සිදුවෙන කිසිම යෝජනා ක්‍රමයකට මුදල් ආයෝජනය නොකර සිටින ලෙසයි. එවිට ඔබට කිසිදු පිරමීඩ ජාවාරමකට හසු නොවී සිටිය හැකිය. මේ නිසා පිරමීඩ යෝජනා ක්‍රම ගැන අධ්‍යයනය කිරීමට අමුතුවෙන් මහන්සි විය යුතු නොවේ. වෙනත් අය බඳවා ගන්නට සිදුවීම යන කරුණ පමණක් මතක තබා ගත හැකි නම් කිසිදු පිරමීඩ ජාවාරමකට ඔබව හසු කරගත නොහැකිය. එහෙත් ඔබ ඒ ගැන තැකීමක් නොකර වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැනි වංචනික ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් වන්නේ ඔබගේ වටිනා ධනය නැතිවීම පමණක් නොවේ. ඊට අමතරව ඔබ ද නීතිය ඉදිරියේ වරදකරුවෙක් වීමයි. මේ නිසා අප නම් කියන්නේ එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස සහ ඒවායේ මුදල් ආයෝජනය නොකරන ලෙසයි. එසේ මුදල් ආයෝජනය කර මහ බැංකුවට හෝ රජයට දොස් කීමෙන් ඵලක් නැති බවයි.

නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි
– මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

පිරමීඩ ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම…

පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී පිරමීඩ ජාවාරම්වලට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ ලියුම්කරු විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඒ සඳහා දුන් පිළිතුර මෙසේය.

“නීතියේ තිබුණට මේක පැහැදිලි නෑනේ. මේක ඔප්පු කරන්නත් ඕනනේ. උදාහරණයක් ලෙස කසිප්පු විකුණනවා නැද්ද කියන එක කසිප්පු ටික අල්ල ගත්තම අනිවාර්යයෙන්ම තියෙනවා සාක්ෂියක් නීති විරෝධීව කසිප්පු තියාගත්ත කියල. නමුත් මේකෙ දි ගමක දෙයක් සිද්ධ වෙනව නම් පොලිසිය ගිහින් ඒ ප්‍රචාරය කිරීම ගැන ඇහුවත් ඒ සල්ලි දාපු කෙනාවත් පොලිසියට සහයෝගය දෙන්නේ නෑනේ. ඒ නිසා ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා. සමහර විට පොලිසියේ නිලධාරීනුත් සම්බන්ධ වෙලා තියෙනවා මේවට. රජයේ නිලධාරිනුත් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් අතට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපේ රටේ තියෙන දෙයක් හැම අවස්ථාවකම උසාවියට ගිහින් ගන්න නීති ක්‍රියාමාර්ගය තුළ නීති පද්ධති ක්‍රියාත්මක කිරීම හැමතිස්සෙම දෙයක් නීතිය තුළින්… නඩු දාල, ඔප්පු කරලා, සාක්කි ඇතුව කරාමනේ අවසානයේ දඬුවමක් ලැබෙන්නේ. එතකම් කරන්නේ අර පාස් පොත් තහනම් කරන එක, මුදල් ගැනීම අවහිර කරන එක, ඒ අය එක්කෝ රිමාන්ඩ් කරන එක. ඒවගේ දේවල්වලින් තමයි පළවෙනි ආකාරයේ ක්‍රියාත්මක වීමේ ආරම්භය. ඒ ක්‍රියාවලිය ඉතාම දිග ක්‍රියාවලියක් අප රටේ තියෙන.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment