ආර්ථිකයට අපලයි : – වසර දහඅටකට පස්සේ රාහු මීනයට

3095

සහනයක් ලැබෙන්නේ කවදා දැයි සියලු දෙනාම පාහේ දෑස් දල්වා බලා සිටිති. ඉහළ යන බඩු මිල, අධික වර්ෂාව ආදී විවිධ ගැටලුවලින් ජනතාව පීඩාවට පත් වී ඇති බව රහසක් නොවේ. බංකොලොත් වී පවතින රටක ආර්ථිකය යන්නම් හිස ඔසවන බවක් ද පෙනේ. අයි. එම්. එෆ් යන අකුරු තුන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් රට සිරවී සිටි මුලදීම මේ අයි. එම්. එෆ්. ණය මුදල අප රටට ලැබෙන බව දිවයින ‘නැකත’ මගින් අපි කීවෙමු. ඒ හුදු දේශපාලන අනාවැකියන් නොව ජ්‍යොතීර් විද්‍යාත්මක අනාවැකියෙකි. පවතින ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඔක්තෝබර් 30 වැනිදා සවස 5.55ට සිදුවන රාහු කේතු මාරුව කොතෙක් දුරට ඉවහල් වේ දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

රාහු සහ කේතු යනු ඡායා ග්‍රහයෝය. එහෙම ග්‍රහයින් දෙදෙනෙක් තාරකා විද්‍යාවට තවම හමුවී නැතැයි කියන අය ද සිටී. ඡායා ග්‍රහයින් යැයි කියන්නේ එබැවිනි. ඒ පෘථිවියේ හා චන්ද්‍රයාගේ ගමන් මාර්ග කැපෙන ලක්ෂ දෙකකි. සැමවිටම රාහුට අංශක 1800 දුරින් කේතු පිහිටන නිසා ජන්ම පත්‍රයක රාහු සිටින කොටුවේ සිට හත්වැනි කොටුවේ කේතු පිහිටයි.

රාහු කේතු පෘථිවිය වටා යෑමට වසර දහඅටක් පමණ ගත වේ. මේ නිසා එක රාශියක වර්ෂ එකහමාරක් පමණ ගමන් කරයි. අනෙක් ග්‍රහයන් මෙන් නොව රාහු, කේතු ගමන් කරන්නේ ආපස්සටය. එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් නොව කටක මිථුන, වෘෂභ, මේෂ ආදී ලෙසය. මේ අනුව රාහු මේෂ රාශියට පැමිණියේ 2022 අප්‍රේල් 11දාය. එසේ පසුපසට ගොස් ලබන ඔක්තෝබර් 30 වැනිදා මීන රාශිගත වෙයි. ඒ වේලාවටම කේතු ග්‍රහයා ද කන්‍යා රාශියට ඇතුළු වන්නේය. මෙම ග්‍රහ මාරුව ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නය අනුව සලකා බලන විට නව ග්‍රහයින්ගේ පිහිටීම පහත සටහන පරිදි වනවා ඇත.

මේ දිනවල ලංකා කේන්ද්‍රයේ ලග්නයේ සෙනසුරු ගමන් කරන්නේය. ඒ අතර රාහු දෙවැන්න වූ ධනස්ථානයට පැමිණෙයි. කේතු අටවැන්න වූ මාරකස්ථානගත වෙයි. ධනයට හා ආදායමට අධිපති ගුරු තුන්වැන්නේ සිටී.

අනෙක් අතට රාහු ග්‍රහයා මීන රාශියේදී “මූඨ” නම් දුර්වල බවට පැමිණේ. කේතු ද එසේය. වසර 2025 මැයි 18 දක්වා රාහු මීනයේ ගමන් ගනී.

රාහු මීන රාශිගත වීම 1949, 1968, 1986, 2005 යන වසරවලදී ද සිදුවී තිබේ. නමුත් ග්‍රහ මාරුවන් සිදුවූ පමණින් ඒ ග්‍රහයා ගැන පමණක් සලකා අනාවැකි කීම ජ්‍යොතිර් විද්‍යාවට පට හැනිය. විශේෂයෙන් ලංකාව ගැන සලකන විට සෙනසුරු හා ගුරුගේ ගෝචර ගමන සැලකිය යුතු වේ. මෙසේ සලකා බලන විට ඉහත වර්ෂවල හා මෙවර ශනි, ගුරු, රාහු යන ග්‍රහයින්ගේ ගෝචර ගමන සමාන වන්නේ නැත. මේ නිසා පලාපල ද සමාන නොවන්නේය.

උදාහරණයන් වශයෙන් රට බරපතළ ආර්ථික අර්බුද තත්ත්වයකට පත්වූ 2020, 2021 පමණ කාලය ධනයට අධිපති ගුරු සමග සෙනසුරු ලංකා කේන්ද්‍රයේ දොළහේ ගමන් කළේය. මේ නිසා ආර්ථිකයට බාධා පෙන්වීය. 2022 මැද වනවිට ගුරු ධනස්ථානගත විය. සෙනසුරු ද ලග්නයේ ස්වක්ෂේත්‍රව ගමන් කරන්නට විය. මේ අනුව තරමක සහනදායක බවත් ඇති වෙන්නට විය. දැනට ගුරු තුනේ ද ශනි ලග්නයේ ද ගමන් කරන අතර රාහු මාරුව සිදු වන්නේය.

මේ නිසා රාජ්‍ය වියදම් අධික ලෙස ඉහළ යනවා ඇත. ආදායම් මාර්ග ද යහපත් බවක් නොපෙනේ. සේවක වැටුප් ලෙස ද ණය ගෙවීම් ලෙස ද කළ යුතු වැය ඉහළ යන්නේය. නමුත් විදේශ රටවලින් යම් තරමක සහනයන්, ණය ආධාර ලැබීමට ඉඩ තිබේ. භාණ්ඩාගාරයේ මුදල් පාලනය දැඩි ලෙස පවත්වාගත යුතු වේ. තවද මහජනයාට අහිතකර තීරණ ගැනීම නිසා පාලන පක්ෂය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වන බව ද පෙනේ. ජනප්‍රිය නොවන තීරණ ගනු ලබන කාලයකි. පෝෂණ ගැටලුවලින් ද ජනතාව පීඩාවට පත්විය හැකිය. පෝෂ්‍යදායක ආහාර ලබාගැනීම දුෂ්කර වන බව කේතු අටවැන්නේ පෙන්වයි.

රටේ තත්ත්වය එසේ පවතින නමුදු උපන් ලග්න අනුව රාහු මාරුව විවිධ ලෙස බලපාන බව පෙනේ. රාහු ග්‍රහයාගේ ගෝචර ගමනේ ප්‍රතිඵල බොහෝ දුරට ශනි සමාන වන්නේය. මේ අනුව ලග්න තුනකට සුබපල අපේක්ෂා කළ හැකි වේ. වෘෂභ, තුලා මකර යන ලග්න ඒවාය. මකර ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නට රාහු පැමිණේ. සතුට හා ධන ලාභ බලාපොරොත්තු විය හැකි වේ. වෘෂභ ලග්නයෙන් ලාභස්ථානයට එනම් එකොළහට මාරු වීම ද සුබපල දෙයි. ආදායම් මාර්ගවලට තිබූ බාධා ඉවත් වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. සැප ලබන කාලයක් වේ. තුලා ලග්න හිමියන්ගේ ලග්නයේ හයවැන්නට රාහුගේ පැමිණීම නිසා සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබිය හැකි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට ද ඉඩ තිබේ. විදේශ රැකියා ලාභ ලැබේ.

මේ අතර මිශ්‍රපල දායක බව පෙන්වන ලග්න හතරක් ද ඇති බව පෙනේ. මිථුන, සිංහ, ධනු, මීන යනු ඒ ලග්න හතරය. මිථුන ලග්නයෙන් දහවැන්නේ රාහු ගමන් කළ ද ගුරු 11 ගමන් කරන නිසා තදබල අපල ඇති නොවේ. 2024 මැද දක්වා මේ තත්ත්වය පවතී. සිංහ ලග්නයෙන් අටවැන්නේ රාහු ගමන් කළ ද ගුරු බලවත් නිසා තද අපල ඇති නොවේ. ධනු ලග්න හිමියන්ගේ හතරේ රාහු ගමන් කළ කළ ද ගුරු පහේ ගමන් කරයි. මේ නිසා තද බල අපල ඇති නොවේ. මීන ලග්න හිමියන්ගේ ද දෙවැන්නේ ගුරු ගමන් කරන නිසා මිශ්‍රපලදායක තත්ත්වයන් ඇති වේ.

ඉතිරි ලග්න හිමියන්ට තරමක බාධා ඇති වීමට ඉඩ ඇති බව පෙන්වයි. රාහු දශා ගත කරන අයට විශේෂයි. මේ නිසා හිතේ චංචල බව, මානසික අසහනය, උදරාබාධ ආශ්‍රිත රෝග, හිසේ රෝග, ගැස්ට්‍රයිටිස් වැනි රෝග මෙන්ම අධික වියදම් ද යෙදේ. නිශ්පල ගමන් යෑමට සිදු වේ. සිසු දරුවන්ට නම් ඉගෙනීමට අවශ්‍ය අවධානය අඩු විය හැකිය. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති නිසා පරිස්සම් විය යුතුය. විශේෂයෙන් තනි තීරණ ගැනීමෙන් වැළකීම හා විශේෂඥ උපදෙස් මත කටයුතු කිරීම මැනවි. උපදෙස් ගත හැකි නැනවත් අය ඇසුරු කළ යුතුය. දිනපතා කරන කටයුතු කාලසටහන් අනුව කිරීම ද මැනවි.

රාහු අපලවලදී බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සුදුසුය. පූජා තබන විට වැටකේ මල් හා එළඟි තෙල් පහන් පූජාව විශේෂයි. අගිල් මිශ්‍ර සුවඳ ධූප පූජාව හා නිසි ලෙස පේ කරගත් සුවඳ ධූප මගින් නිවසේ දුම් ඇල්ලීම ද යහපත්ය. චන්ද පිරිත හා සූරිය පිරිත භාවිතා කිරීම මගින් අපල දුරු වේ. රාහු අපල ඇති විට තෙම්පරාදු ආහාර ගැනීම අඩු කළ යුතු අතර ජලය පානය අතපසු නොකළ යුතුය. රාහු අපලවලදී ගෝමේද මැණික් පැළඳීම මෙම ලියුම්කරු අනුමත නොකරන අතර සුදුසු මැණික් තෝරා ගැනීම තම කේන්ද්‍රයේ ග්‍රහ බලය අනුව කළ යුතු වේ.

ආර්ථිකයට අපලයි : - වසර දහඅටකට පස්සේ රාහු මීනයට

ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත්
කෙළින්වීදිය, කෑගල්ල,
දු. අංකය 0771234313, 0352232084

advertistmentadvertistment
advertistmentadvertistment