අධිකරණ නියෝගයට පිටින් වැඩ කළ සමාගමට එරෙහි නඩුව 20 දා කැඳවයි

534

අධිකරණය විසින් ලබාදී තිබූ නියෝගයකට පටහැනි ආකාරයෙන් කටයුතු කර අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය දින නියම කළේය.

අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයට පටහැනිව කටයුතු කරමින් සිය සේවාදායකයාව අධ්‍යක්‍ෂ තනතුරුවලින් ඉවත් කිරීමෙන් සෙසු සමාගම් අධ්‍යක්‍ෂවරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සමාගම් අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ සජිත් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

පෙර කී සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ කසුන් රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ තුසිත රාජපක්‍ෂ, භාතිය අමරකෝන්, අසංක නානායක්කාර සහ නෙලානි රාජපක්‍ෂ යන අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව සහ සමාගමේ ලේකම්වරිය වන වරුණි ද සිල්වා යන අයට එරෙහිව සජිත් රාජපක්‍ෂ මහතා එම නඩුව පවරා තිබිණි. බොරැල්ලේ පිහිටි සිය නිවසේ ගේට්ටුවකට ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් උපයෝගී කරගනිමින් වෙඩි තැබීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී පෙර කී සමාගම් සමූහයට අයත් සමාගම් තුනක කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයෙන් ද තවත් සමාගම් පහක අධ්‍යක්‍ෂ ධුරයෙන් ද ඉවත් කිරීමට පෙර කී වගඋත්තරකරුවන් කුමන්ත්‍රණය කර ඇති බව සජිත් රාජපක්‍ෂ මහතා සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment