ඊශ්‍රායල් – හමාස් ගැටුමේදී මියගිය සුජිත්ගේ දේහය වෙන්නප්පුවට

298

ඊශ්‍රායල් හමාස් ගැටුම් හමුවේ මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් බණ්ඩාර යටවරගේ දේහය වෙන්නප්පුව බටහිර කොලොන්ජාඩිය නිවසට 09 වන දින රාත්‍රී 11.45 ට පමණ රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

එදින උදෑසන දේහය කටුනායක ගුවන්තොටුපළට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් මහකොමසාරිස්, ඇමැති අරුන්දික ප්‍රනාන්දු, විදේශ කටයුතු නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සහ මියගිය අයගේ බිරිඳ සහ ඥාතීන් දේහය බාර ගැනීමට පැමිණි සිටි අතර අනතුරුව මීගමුව රෝහලේ දී සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් පසු නිවස වෙත දේහය රැගෙන ආවේය. ඉකුත් මස 07 වන දින හමාස් ප්‍රහාරයෙන් සුජිත් නිශ්ශංක අතුරුදහන් වූ බවට හඳුනා ගෙන තිබිණි. මාසයකට ආසන්න කාලයක් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති පසුබිමක ඉකුත් 26 වන දින දරුවන්ගේ ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් ඊශ්‍රායලයට යැවීමට කටයුතු කෙරිණි.

ඊශ්‍රායල් - හමාස් ගැටුමේදී මියගිය සුජිත්ගේ දේහය වෙන්නප්පුවට

ඉන් අනතුරුව සුජිත් නිශ්ශංක මියගොස් ඇති බව ඩීඑන්ඒ පරීක්ෂා වාර්තාව හා සැසඳීමේදී තහවුරු වී ඇති බව පසුගිය 03 වෙනි දින ඊශ්‍රායල රජය විසින් දන්වන ලදී. සුජිත් බණ්ඩාර යටවර දෙදුරු පියෙකි. වයස අවුරුදු 13ක දියණියක් හා වයස අවුරුදු 8ක පුතෙකු සිටින ඔහු 2015 වර්ෂයේ ඊශ්‍රායලයේ රැකියාවට ගොස් තිබේ. සුජිත් බණ්ඩාර යටවරගේ අවසන් කටයුතු (11 දා) අද සෙනසුරාදා කිරිමැටියාන, මඩවලපිටිය පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment