කලං යයි

322

දුක්ඛ දෝමනස්ස හා ඉච්ඡා භංගත්වයෙන් සලිත වූ සමකාලීන තාරුණ්‍යය ප්‍රතිනිර්මාණය කරමින් සිංහල සිනමාව තුළ එදා තරුණයාගේ භූමිකාව යථානුරූපීව නිරූපණය කළ සම්මානිත ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය රංගධර අමරසිරි කලංසූරිය මහතා සිය සිනමා දිවිසැරිය පෙරේදා (01 වැනිදා) නිමා කළේය.

ජාඇල නිවාස සංකීර්ණයේ පිහිටි නිවසේදී ඒ මහතා පෙරේදා (01 දා) අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියේ පසුවිය.

අජන්තා කලංසූරිය මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දුමින්ද, මධුමතී සහ වින්ධ්‍යා කලංසූරිය යන දරුවන්ගේ දයාබර පියාණන් විය. අමරසිරි කලංසූරිය මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (03 වැනිදා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

ලාංකේය සිනමාවේ තාරුණ්‍යයේ ප්‍රතිරූපය බිඳදමමින් තමන්ටම ආවේණික වූ රංග ප්‍රවේශයකින් විරැකියාවෙන් හා අපේක්‍ෂා භංගත්වයෙන් පීඩිත වූ තාරුණ්‍යය මුහුණදුන් කඨෝර තත්ත්වය ඔහුගේ දඟකාර යෞවනයෙන් රටක් වසඟයට පත් කිරීමට සමත් විය.

සිංහල සිනමාවේ හිතුවක්කාරයා ලෙස ද එකල ඔහු හැඳින්විණි.

අමරසිරි කලංසූරිය මහතා 1940 සැප්තැම්බර් 20 වැනිදා මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේදී උපත ලැබීය.

පිළිමතලාව, කිරිබත්කුඹුර ස්වර්ණජෝති විiාලයෙන් මූලික අධ්‍යාපනයද, මහනුවර ධර්මරාජ විiාලයෙන් උසස් අධ්‍යාපනය ද ලැබූ ඔහු වයස අවුරුදු 18 දී යුද හමුදා සේවයට එක් වී එහි කෝප්‍රල් නිලය දක්වා කටයුතු කළේය.

1966 වසරේදී ‘රැයක් දවාලක්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු පසුව ‘හන්තානේ කතාව’ (1969), අහස් ගව්ව (1974), බඹරු ඇවිත් (1978), පොඩි විජේ (1987) යන චිත්‍රපටවල රඟපෑමෙන් සිංහල සිනමාවේ රංගන ශිල්පියකු සතු විශිෂ්ඨත්වය විදහා දැක්වීය.

අක්කර පහ (1970), නිම් වළල්ල (1970), තරංගා (1975), අපේක්‍ෂා (1978), අනුපමා (1978), පොඩි මල්ලී (1979), කාංචනා (1980), පරිත්‍යාගය (1980), සිංහබාහු (1980), වජිරා (1981), සාගරයක් මැද (1981), ප්‍රදීපා (1982) යසඉසුරු (1982), සක්විති සුවය (1982) සමනළ සිහින (1983), වැල්ලෙ තැනූ මාලිගා (1984), රැජින (1985), ඩොරින්ගේ සයනය (1985), පූජා (1986), මල් වරුසා (1986), පෙම් රජදහන (1990), දොළොස්මහේ පහන (1991), 150 මුල්ලේරියාව (1994), අඹු සැමියෝ (1994), අහස් මාළිගා (1994), දිය යට ගින්දර (2004), රෝස මල් සයනය (2009) යන චිත්‍රපට තුළ ඔහු නිරූපණය කළ චරිත තුළින් ඔහු රසික හදවත් දිනා ගත්තේය.

අමරසිරි කලංසූරිය මහතා සිය හොඳම මිතුරා වූ දිවංගත විජය කුමාරතුංගයන් සමඟ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබාදීම විශේෂත්වයකි.

මෙරට පළමු වර්ණ ටෙලිනාට්‍යය වූ දිමුතුමුතු ටෙලි නාට්‍යයේ ජයසේනගේ චරිතය නිරූපණය කරමින් මෙරට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම නළුවා ලෙස ඉතිහාසයට එක්විය.

ජනාධිපති, සරසවි, දීපශිඛා, ස්වර්ණසංඛ හා සිග්නීස් සම්මානලාභියකු ද වූ මෙම ප්‍රවීණ රංගධරයා 2004 වසරේදී සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානයට ද පාත්‍ර විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment