ඉල්ලීම් දිනා ගැනීමට දරුවන් යොදාගන්න එපා

57

එජාප සභාපති වජිර අබේවර්ධන

තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගුරුවරුන් ළමයින් සම්බන්ධ කරගැනීම හෙළාදකින බවත්, දරුවන්ගේ අනාගතය මත රටේ අනාගතය තීරණය වන බැවින් මේ සඳහා දෙමව්පියන් ඉදිරියට පැමිණිය යුතුව තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (28දා) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

2022 වසරට නියමිත අපොස උසස් පෙළ විභාගය පසුගිය පෙබරවාරි මාසයේ අවසන් කළා. ගුරුවරුන් 19,000ක් විශ්වවිiාල ආචාර්ය, මහාචාර්යවරු 1100 ක පමණ පිරිසක් ළමයි ලක්‍ෂ 3 කගේ ප්‍රශ්න පත්‍ර බැලීම සිදු කරනවා. කවදත් මේ වැඩපිළිවෙළ කරගෙන ගියේ ඒ ආකාරයටයි. ඒ නිසා තමයි ළමුන්ගේ ප්‍රතිඵල නියම වෙලාවට ලබාදෙන්න හැකියාව ලැබුණේ. ප්‍රතිඵල මේ ආකාරයට හරිම වෙලාවට ලබාදෙන්න නම් විභාගය අවසන් වූ වහාම ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනවා.

නමුත් මෙවර විභාගය අවසන් වී ප්‍රශ්න පත්‍ර ඇගැයීම් කටයුතු ආරම්භ කිරීමටත් කලින් යම් යම් වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් ඉල්ලන්න පටන් ගත්තා. ඇතැම් ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විසඳා දීමට ද හැකියාව ලැබුණා. ඇතැම් ඉල්ලීම් ඒ ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශයට විසඳිය නොහැකියි.

ගුරුවරුන්ගේ ඉල්ලීම වුණේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ඔවුන්ට ලබාදෙන ගෙවීම වැඩි කරන්න කියලයි. පසුගිය කාලවකවානුව තුළ ඔවුන්ට මේ කටයුත්ත සඳහා දවසකට ගෙවා තිබුණේ රුපියල් 500 ක මුදලක්. ඔවුන් දවස් 15ක 20ක පමණ කාලයක් මේ කටයුත්ත සිදුකරනවා.

නමුත් කොවිඩ් වසංගත කාලය තුළ මේ අයගේ ඉල්ලීම මත එම රුපියල් 500 ක මුදල රුපියල් 1000ක් දක්වා වැඩි කළා.

එතැනිනුත් නොනැවතුණු මේ කණ්ඩායම ඉන් පසුව මෙම දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන්න කියලා කිව්වා. නමුත් රජයට මෙම දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් නොතිබුණු නිසා මෙම මුදල රුපියල් 2000 දක්වා වැඩි කළා.

මෙයත් සමග ගුරුවරුන්ගේ මෙම දීමනාව වෙනුවෙන් රජයට පසුගිය අවුරුදුවලට වඩා රුපියල් මිලියන 480ක පමණ වියදමක් වැඩියෙන් දැරීමට සිදුවෙනවා. දරුවන්ගේ අනාගතය විනාශවීමට දිය නොහැකි නිසා රජය විසින් මෙම මුදල් ප්‍රමාණයත් ගුරුවරුන් වෙනුවෙන් වෙන් කළා.

කොහොම වුණත් මෙවන් ක්‍රියාවලියක් ඉතා අමාරුවෙන් රජය විසින් ඉදිරියට ගෙනයන අවස්ථාවේදී පවා මොවුන් විසින් තවමත් උත්තර පත්‍ර ඇගයීමේ කටයුත්ත ආරම්භ කර නැහැ. එය ඉතාමත් බරපතළ කාරණයක් හැටියටයි මම දක්නේ. මෙය සම්පූර්ණයෙන්ම බලපාන්නේ අපේ රටේ දුවා දුරුවන්ටයි. ඒ මක්නිසාද කියනවානම් ඔවුන් තමන්ගේ මුළු කැපවීම යොදවමින් විභාගය වෙනුවෙන් සූදානම් වී සිටින අවස්ථාවක විභාගය නොපැවැත්වීම ඉතාමත් බරපතළ කාරණයක්.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment