කලින් වැටලීම කරලා පැය 24 යි – කෝටිපතියාගේ ගව ඝාතකාගාරයේ ඊයේත් හරක් මරලා

1258

දිවයිනේ ප්‍රසිද්ධ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු වැලිපැන්නේ මෙහෙය වූ නීති විරෝධී ගව ඝාතකාගාරය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් වටලා පැය කිහිපයක් ගත වනවිට එම ස්ථානයේම තවත් ගවයන් දෙදෙනකු ඊයේ (28දා) ඝාතනය කර ඇත. එහිදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් නැවත එම ස්ථානය වටලා මස් කිලෝ 368 අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් තිදෙනකු පෙරේදා (26 දා) වලාන දූෂණ මර්දන ඒකකය මගින් වැටලීමේදී නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ තුනක අල්ලසක් ලබාදී ව්‍යාපාරිකයා බේරීමට උත්සාහ කළත් එයට යට නොවී ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කර තිබිණි.

එම ස්ථානයේම නැවත ගවයන් දෙදෙනකු ඝාතනය කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදුකරන විට සැකකරුවන් ගව මස් තොගය දමා පැනගොස් ඇත. මෙම ඝාතකාගාරය වැලිපැන්න පොලිසියට මීටර් 800ක් පමණ ආසන්නයකින් පිහිටා ඇත.

මෙම ඝාතකාගාරයට විවිධ ප්‍රදේශවලින් ගවයන් සොරකම් කරගෙන පැමිණ ඝාතනය කරන බව සඳහන්ය. ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් මස් තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂක මදුෂාන් මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු බවට සහතිකයක් ලබාදී ඇත.

මෙම ස්ථානය මීට පෙර වැටලූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ද එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට බලපෑම් කර තිබුණා. එයට අවනත නොවී නීතිය ක්‍රියාත්මක කර තිබිණි.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන රත්නායක, දිල්හාන්, පොලිස් කොස්තාපල්වරුන් වන (32976) මනෝජ්, (90445) අබේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment