කුඹුක්කන් ඔය අසල ගැටුමකින් තුවාල ලැබූ හාඩි සිසුවා මියයයි

137

බඩල්කුඹුර පොලිස් වසමට අයත් දෙමෝදර කුඹුක්කන් ඔය අසලදී සිදුවූ ආරවුලකින් තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට මාරුකර සිටි 24 හැවිරිදි කාර්මික විද්‍යාල සිසුවෙකු මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම 08 කණුව ගල්ළිඳමුල්ල පදිංචි එම්.ජී. පුබුදු මහේෂ් වීරතුංග (24) නමැති අම්පාර හාඩි උසස් කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි.

මියගිය ශිෂ්‍යයා තවත් හිතවතුන් තිදෙනෙකු සමඟ දෙමෝදර ප්‍රදේශයෙන් ගලායන කුඹුක්කන් ඔයට දියනෑමට ගොස් ඇත.

එසේ යන විට තවත් පිරිසක් මත්පැන් පානය කරමින් ඔය අසල සිට තිබේ. එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් මියගිය අයට සහ ඔහු සමඟ සිටි තිදෙනාට අතින් පයින් හා පොලු‍වලින් පහරදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කොට බරපතළ තත්වයෙන් සිටි කාර්මික විද්‍යාල ශිෂ්‍යයා බදුල්ල මහ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment