කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීම

417

හිසරදය ප්‍රධාන රෝග ලක්‍ෂණයක් ලෙස මතුවන රෝග දෙකක් ලෙස කෝටරක ප්‍රදාහය (sinusitis) සහ ඉරුවාරදය (Migraine) හැඳින්විය හැකිය. මෙම රෝග දෙක ඇති වීමට බලපාන හේතු ද වෙනස්ය. ඒනිසා කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය නිවැරදිව හඳුනාගැනීම වැදගත්ය.

කෝටරක ප්‍රදාහය (Sinusitis)

මුහුණේ නළල ප්‍රදේශයට යටින් සහ කම්මුල් ප්‍රදේශයට යටින් පිහිටි අස්ථිවල වාත කුහර පවතී. මෙම වාත කුහර නාස් කුහරයට විවෘතය. බැක්ටීරියා හෝ වෛරස ආසාදන රෝගයක් නිසා නාස් කුහාර අවහිර වීමෙන් මෙම වාත කුහරවල පීඩනය වැඩි වේ. එවිට නළල දෙපස දැඩි වේදනාවක් හටගනී. හිස ඉදිරිපසට නැවීමේදී වේදනාව වැඩි වේ.

පීනසය ඇති අයට ද පීනස තත්ත්වය උත්සන්න වීම නිසා නාස් කුහාර අවහිර වූ විට වාත කුහරවල පීඩනය වැඩි වේ.

මෙලෙස කෝටරක ප්‍රදාහයට බලපාන හේතු අනුව ඇතිවන රෝග ලක්‍ෂණ ද වෙනස් වේ. වෛරස, බැක්ටීරියා ආසදනයක් නිසා නාස් කුහර අවහිර වීමට බොහෝවිට බල පානුයේ සෙම්ප්‍රතිශ්‍යාවය. මෙහිදී උණ තත්ත්වයක් ද මතුවිය හැකිය.

කෝටරක ප්‍රදාහය දිගු කාලයක් පැවතීම නිසා වාත කුහර තුළ දිලීර ආසාදනය නිසා සැරව පිරීමක් සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවක දී උණ, තද හිසරදය සහ එය අඛණ්ඩව පැවතීම රෝග ලක්‍ෂණ ලෙස මතුවේ.

මෙවැනි අවස්ථාවක දී උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍ය සායනයකට යොමුවී වාත කුහර තුළ පිරී ඇති සැරව ඉවත් කළ යුතුවේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයකදී කෝටරක ප්‍රදාහය ඇතිවූ විට සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ගන්නා අතර උණුසුම් ජල වාෂ්ප ආශ්වාස කිරීම මගින් පවතින වේදනාව සමනය කර ගැනීමට උපකාරීවේ.

ඉරුවාරදය (Migraine)

ඉරුවාරදයට බලපානුයේ හිස් කබල ඇතුළත ඇති නහරවල හටගන්නා තිගැස්මකි.

මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ අධික ලෙස නිදිවැරීම සහ මානසික ආතතිය වැඩිවීමය.

බොහෝවිට විභාග සඳහා මුහුණ දෙන අයට අධික ලෙස නිදි වරමින් පාඩම් කිරීම සහ විභාගය සම්බන්ධව ඇති වන මානසික ආතතිය මත ඉරුවාරදය තත්ත්වය හට ගනී.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ වනුයේ හිස එක් පැත්තක ඇති වන වේදනාව, ඇස් බොඳවී පෙනීම, වමනය යෑම ආදියයි.

නිදා සිටිනවිට හිසේ වේදනාව අඩු වේ. නමුත් නැඟිට සිටිනවිට හිසේ වේදනාව වැඩි වේ. ඉරුවාරදය සඳහා වේදනා නාශක ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා නිසි වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්ව දීර්ඝකාලීනව ඖෂධ ගැනීම කළ යුතුය.

කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීම

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment