ඩී.එස්.අයි.සුපර්ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් මෙවරත්

80

ඩී.සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත ලබා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් ඒ.එස්. නාලක, පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකාවේ වැඩිම පාසල් කණ්ඩායම් සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන එකම වොලිබෝල් තරගාවලිය වන ඩී.එස්.අයි.සුපර්ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් තරඟ මැයි මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

වයස් කාණ්ඩ 5ක් යටතේ එනම් අවුරුදු 11 න් පහළ, 13න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ ලෙස පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලිය සඳහා පාසල් වොලිබෝල් කණ්ඩායම් 5000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ මෙන්ම අනුග්‍රාහකයෝ ද බලාපොරොත්තු තබා සිටිති. අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකා පාසල් සුපර්ස්පෝර්ට්ස් 2023 වොලිබෝල් තරගාවලිය සඳහා 21 වෙනි වරටත් අඛණ්ඩව අනුග්‍රහය දැක්වීමට ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම සහ කළමනාකාරිත්වය තීරණය කොට ඇත. අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම පෙරේදා ආරම්භ වූ අතර අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 25 වැනිදා අවසන් කෙරෙනු ඇත. ඒ අනුව තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග මැයි 13 සිට ආරම්භ කෙරෙන අතර දිස්ත්‍රික් ශූරයන් සහ අනුශූරයන් පළාත් තරඟ සඳහා සුදුසුකම් ලබනු ඇත. පළාත් මට්ටමේ තරග ජුනි 01 වැනිදා සිට අගෝස්තු 13 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ජාතික මට්ටමේ තරගාවලිය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 3 දක්වා පැවැත්වීමටත් අවසන් තරග සැප්තැම්බර් 23 සහ 24 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටත් සැලසුම් කොට ඇති බව කංචන ජයරත්න මහතා තවදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment