ඩිලංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

157

පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී දැන් ක්‍රියාත්මක ජාතික ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තා 02 ක් බිහි කරන්නට ඩිලංක ඉසුරු කුමාර ඊයේ (11) සමත් විය.

කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය නියෝජනය කළ ඩිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 116 ක් ද මුළු බර එකතුව ලෙස කිලෝ ග්‍රෑම් 257 ක් ද ඔසවමින් නව වාර්තා දෙකකට හිමිකම් කියන්නට සමත් විය. ඩිලංක ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 141 ක බර ප්‍රමාණය පැවති තරග වාර්තාව සම කිරීමකි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව කිලෝ ග්‍රෑම් 55 අඩු බර පන්තියේ රන් පදක්කම් ලාභී ක්‍රීඩකයා එසවූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 256 කි. එම බර ප්‍රමාණය අභිබවා යන්නට සමත් වෙමින් මෙවර තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 257ක බර එකතුවක් සටහන් කිරීමට ඩිලංක ඉසුරු කුමාර සමත්වීම විශේෂත්වයක් ගත්තේය. එකී දෙවන ස්ථානය කේ. සී. ඒ. එස්. ඩී. ජයවර්ධන (කිලෝ ග්‍රෑම් 233) ට හිමිවූ අතර කිලෝ ග්‍රෑම් 160 ක් එසවූ එම්. එම්. කහටපිටිය ට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment