ඩෙංගු මඬින වොල්බැකියා ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහටත් ක්‍රියාත්මක කරන්න – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උපදෙස් දෙයි

53

සියලු පාසල් පිරිසිදු කර ඡායාරූප එවන්න

කොළඹ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ (18දා) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද විවිධ දැනුවත් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඩෙංගු ව්‍යාප්තිය සැළකිය යුතු තත්ත්වයකින් පාලනය වී ඇති බවත් එම වැඩසටහන් ඉදිරි සතිවලද තවදුරටත් ක්‍රියාත්මක කිරීම තුළින් තවදුරටත් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් සියලුම පාසල් දැනුවත් කර දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඡායාරූප සමඟ වාර්තා කරන ලෙස අදාළ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දුන් සාගල රත්නායක මහතා 2024 ජනවාරි මස මුල් සතියේදී මෙම වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කළේය.

ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment