ණයකරුවන් නොමරා මරපු ඔන්ලයින් ණය මගඩියට චීන්නු 5 ක් ඇතුළු 6 ක් දැලේ

484

ඔන්ලයින් ක්‍රමය හරහා දිනකට සියයට 30 බැගින් පොලිය අය කරමින් නීති විරෝධී ආකාරයෙන් ණය දෙන ආයතනයක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් 05 ක් ඇතුළු 06 ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් දෙහිවල ප්‍රදේශයේ සිය මධ්‍යස්ථානය පවත්වාගෙන යමින් ණය ලබාගන්නා පුද්ගලයන් ණය ගෙවීම ප්‍රමාද කිරීම හෝ ණය ගෙවීම පැහැර හරින්නේ නම් එම ණය ලබාගත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සමීපතමයන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් ඔහු සම්බන්ධව අගතියට පත්වන විවිධ ප්‍රකාශ කරමින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි කරගෙන තිබේ.

මෙම ආයතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන අතර ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් සමග පරිගණක 08 ක්, ලැප්ටොප් පරිගණක 11 ක් සහ ජංගම දුරකථන 49 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මධ්‍යස්ථානයේ ණය ලබාගත් පුද්ගලයන්ගෙන් ණය අයකර ගැනීම සඳහා සේවිකාවන් යොදවා සිටින බවත්, දෛනිකව අවශ්‍ය ණය මුදල අයකර ගන්නා තෙක් එම සේවිකාවන්ට කාර්යාල වේලාව අවසන් වුවත් කාර්යාලයෙන් පිටතට යා නොදී රඳවාගෙන සිටි අවස්ථා ද පවතින බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.

හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment