දැඩි සුළං – මහ වැසි රට තැන තැන මහ විපත්

197

රේල් පාරට ගසක් කඩා වැටී නානුඔය – මහනුවර දුම්රිය පීලිපැනලා

නුවරඑලිය – නාලක රත්නායක

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ (05 දා) දින උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා පැමිණ තිබුණි.

නානුඔය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය (05 දා) දින අලුයම 4 ට පමණ තලවකැලේ සහ

වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118 ¼ සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුවී තිබිණි. ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය සහ සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගසක් මතින් දුම්රිය ධාවනය වීම නිසා එම දුම්රියේ එන්ජිම පීලි පැන තිබූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා තිබිණි.

දුම්රිය එන්ජිම පීලිගත කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබිණි.

තේ දලු නෙළද්දී හිසමතට ගසක් කඩා වැටී කතක් මරුට

මහනුවර පවුල් 21ක් අවතැන්

පවතින අධික වර්ෂාව හා සුළං ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව පවුල් 21ක් මේ වන විට අවතැන්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ

මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කරයි.

අධික වැසි තත්වය සමග හමන අධික සුළං හේතුවෙන් පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙල්ලීමලේ වත්තේ තේ දලු නෙළමින් සිටි කාන්තාවක් මතට ගසක් කඩා වැටීමෙන් ඇය මරණයට පත්ව තිබේ. පවතින අධික සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි අයහපත් කාලගුණික තත්ත්වය මත මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21ක සාමාජික සාමාජිකාවන් 92 ක් අවතැන් වී ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ

උපදෙස් මත මෙම අවතැන් වූ පිරිස් මේ වන විට ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමට කටයුතු යොදා ඇත. අවදානම් දිස්ත්‍රික්ක අතරට මහනුවර දිස්ත්‍රික්කය නම් කිරීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විට කටයුතු යොදා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කලේ හාරිස්පත්තුව, දෙල්තොට, පාතහේවාහැට, පන්විල, දොළුව, උඩුනුවර සහ යටිනුවර, ගඟවට කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් අවදානම් තත්ත්වයේ පවතින බැවින් මහජනයා ඉතා විමසිලිමත්ව කටයුතු කළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කරයි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

වැලිගම – පිටිදුව පාරට විශාල ගොරක ගසක් කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියට දැඩි හානි

දැඩි සුළං - මහ වැසි රට තැන තැන මහ විපත්

මාතර අතිරේක – ලලිත් පත්මසිරි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (5 දා) දින පාන්දර 3.00ට පමණ වැලිගම දෙසින් හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් වැලිගම, පිටිදුව ප්‍රදේශයේ පාරේ ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියට මෙන්ම කණුවලට දැඩි ලෙස හානි වී ඇත.

ඒ ආසන්න නිවසක් අසලටද ගසක් වැටී එහි ළිඳට දැඩි ලෙස හානි සිදුවී ඇති බව ගෙහිමියෝ පවසති. මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය පැය දහයකට වඩා විසන්ධි වී තිබූ අතර වැලිගම විදුලි බල මණ්ඩලයේ සේවකයෝ එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ. වැලිගම, පිටිදුව මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට හානි කරමින් වැටී තිබූ විශාල ගොරක ගසක ඡායාරූපයෙන් දැක්වේ.

කෑගල්ලේ පවුල් 62ක 239ක් පීඩාවට – නිවාස 54කට අර්ධ හානි

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මේ වනවිට පවුල් 62 ක 239 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම ඒකකය පවසන්නේ නිවාස 54කට ද අර්ධ හානි සිදු වී ඇති බවයි. වැඩි නිවාස සංඛ්‍යාවකට හානි සිදු වී ඇත්තේ සුළං නිසා ගස් නිවාස මතට වැටීමෙනි. බුලත්කොහුපිටිය, අරණායක හා කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි පවුල් සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබේ.

ඉහළ කොත්මලේ දිය ඇළි සක්‍රීය වෙයි

දැඩි සුළං - මහ වැසි රට තැන තැන මහ විපත්

නුවරඑළිය නාලක රත්නායක

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (05 දා) දින පස්වරුවේ සිට යළි විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලිවල ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.

නුවරඑළියේ ගස් කඩා වැටී වාහන රැසකට දැඩි හානි ගමනා ගමනයට හා විදුලි සැපයුමටත් බාධා

දැඩි සුළං - මහ වැසි රට තැන තැන මහ විපත්

නුවරඑළිය – නාලක රත්නායක

නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන වීදියේ ඊයේ (05 දා) දින උදෑසන ස්ථාන කිහිපයක විශාල ගස් හා විදුලි රැහැන් කිහිපයක්ම කඩාවැටීමෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබිණි. ධාවනය වෙමින් තිබු වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදු වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

නුවරඑළිය පැරැණි මහනුවර මාර්ගයේ එක්පසෙක තිබෙන රූස්ස ගස් කිහිපයක් අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට කඩාවැටීමෙන් විදුලි රැහැන් කිහිපයකටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

තවද නුවරඑළිය හාවාඑළිය ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් නුවරඑළිය මහ නගර සභාවේ වාහනයකට ඇතුළු පෞද්ගලික වාහන දෙකකට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබුණි.

මෙම තත්වය හේතුවෙන් පාසල් ළමුන්ට හා රාජකාරි කටයුතු සඳහා ගමන් කරන රජයේ හා පෞද්ගලික සේවකයන් දැඩි ලෙස අපහසුතාවයට පත් වී සිටිහ. පැය තුනකට ආසන්න කාලයක් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර, නුවරඑළිය මහ නගර සභාව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු ගස් හා අතු ඉවත් කොට නැවත මාර්ගය විවෘත කිරීමට කටයුතු කර ඇත. විදුල් රැහන් පද්ධති කඩා වැටීම නිසා නුවරඑළිය නගර සභා සීමාවේ ප්‍රදේශ රැසකටම විදුලි බලය ඇණහිට තිබිණි.

දුරකථන කුලුනක් කන්තලේ තැපැල් කාර්යාලයට කඩා වැටී සේවකයෝ පස්දෙනෙක් තුවාල ලබති

දැඩි සුළං - මහ වැසි රට තැන තැන මහ විපත්

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි, කන්තලේ – ඩබ්. වික්‍රමසිංහ

දැඩි ලෙස හමාගිය සුළං නිසා කන්තලේ දුරකථන සන්නිවේදන කුලුනක් ඒ අසල පිහිටි තැපල් කාර්යාලය මතට කඩා වැටීම නිසා එම කාර්යාලයේ සේවකයන් පස්දෙනෙක් ඊයේ (5 දා) තුවාල ලබා තිබේ.

රෝහල් ගතකළ අයගේ තත්වය බරපතළ නොවන බව කන්තලේ රෝහලේ වෛi අධිකාරි වෛi ජී. පෝල් රොෂාන් මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 111කට අර්ධ හානි පුද්ගලයන් 280ක් පීඩාවට

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

ඊයේ සහ පෙරේදා (5 සහ 4 දා) දින දෙක තුළ ඇතිවූ තද සුළං සහ වැස්සෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසක 14ක නිවාස 111කට ද ව්‍යාපාරික ස්ථාන දෙකකටද අර්ධ හානි සිදුව තිබේ. එහිදී පුද්ගලයන් 280ක් පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

රත්ගම, යක්කලමුල්ල, අක්මීමණ හික්කඩුව, මාදම්පාගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, ගෝනාපිනුවල, හබරාදුව,

අම්බලන්ගොඩ, බද්දේගම, තවලම, බළපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස දැඩි සුළඟින් මෙසේ හානියට පත්ව ඇති අතර වැඩිම හානි සිදුව ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාසවලට වන අතර එම සංඛ්‍යාව 26කි.

advertistmentadvertistment
advertistmentadvertistment