යූජීසීය සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කර ඇතැයි ඇමැති විජයදාස කියයි

93

පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (BTA) අහෝසි කර ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිළිබඳව සොයා බැලීමට එම කොමිෂන් සභාවේ විශේෂ අංශ දෙකක් සහ විශ්වවිද්‍යාල තුළ පවතින ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට වෙනම ක්‍රමවේදයක් පැවතිය යුතු බව ඊයේ (11 දා) කොළඹ පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී ඇමැතිවරයා කියා සිටියේය.

එහිදී හෙතෙම තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශවීමට නොහැකි වූ තරුණ තරුණියන් දහස් ගණනකගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා SDTI Campus ආයතනය සිදුකරන මෙහෙවර අගය කරනවා. විශේෂයෙන් උපාධි ලබාදීමේදී එය කුසලතා සංවර්ධනයත් සමඟ ලබාදිය යුතුයි. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දූ දරුවන්ගෙන්

හතළිස්පන්දහසක් පමණ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නවා. එහෙත් උසස් පෙළ විභාගයට පෙනී සිටි තවත් ලක්‍ෂ ගණනක් සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමේ අවස්ථාව අහිමි වෙනවා. එසේ විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකින් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කළා. ආණ්ඩු වෙනස් වන පරිදි අමාත්‍යවරයා වෙනස් වන ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ. එම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් අපි ඒ විදිහට යෝජනා කළා. අපිට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය අහෝසි කරලා ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ කොමිෂන් සභාව තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිළිබඳව සොයා බැලීමට විශේෂ අංශ දෙකක් සහ විශ්වවිද්‍යාල තුළ පවතින ගුණාත්මක බව පරීක්‍ෂා කිරීමට වෙනම ක්‍රමවේදයක් පැවතිය යුතුයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment