තව ලකුණු 30 ක් 40 ක් අපිට මදි වුණා – ශතකලාභී ජනිත් ලියනගේ

326

මුලින් පන්දුවට පහර දුන්නේ පොදු තීරණයකින් – සහාය පුහුණුකරු නවීඩ් නවාස්

බංග්ලාදේශය සමගින් පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 30 ක 40 ක අඩුවක් පැවැති බව එම තරගයේදී කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් මැද පෙළ පිතිකරු ජනිත් ලියනගේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ජනිත් එහිදී පන්දු 102 කදී ලකුණු 101 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව කඩුලු හතරකින් පරාජය ලැබීමත් සමග 2-1ක් ලෙස බංග්ලාදේශය එක් දින තරගාවලිය ජයග්‍රහණය කළේය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදීමට ගනු ලැබූ තීරණයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය මෙම අමිහිරි පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ජනිත් ලියනගේ එහිදී පැවැසීය.

“ඇත්තටම මෙම තරගයේ ප්‍රතිඵලය ගැන අපි කනගාටු වෙනවා. මූලිකවම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් අපි සතුව නොතිබීම පරාජයට හේතු වුණා. එසේ වුවත් අපගේ පන්දු යවන්නන් දැඩි වෙහෙසක් ගත්තා. එසේම බංග්ලාදේශයත් ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒ අනුව එහි පූර්ණ ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. එසේම පළමු තරගය ක්‍රීඩා කළ තණතීරුවෙහිමයි අපි මෙම තරගයත් ක්‍රීඩා කළේ. කෙසේ වෙතත් අපි පළමුව පිතිකරණයේ යෙදුනත් දෙවැනියට පිතිකරණයේ යෙදුනත් පළමු විනාඩි 30 ඇතුළත පන්දුව දෝලනය වෙනවා. එසේ වුවත් අපි කාසියේ වාසියටත් වඩා පිතිකරණයෙන් දැක්වූ දුර්වලතා නිසා තරගය පරාජය වුණා. එසේම අපිට තවත් ලකුණු 30ක් හෝ 40ක් ලබා ගත හැකි වුණා නම් අනිවාර්යයෙන්ම තරගය ජයගත හැකිව තිබූ බව මම සිතනවා. එසේම මම කළින් සඳහන් කළ අයුරින් මෙය මින් පෙර තරගයක් සඳහා යොදා ගත් තණතීරුවක්. එම නිසා අපිට පළමුව පන්දුවට පහරදීමට අවශ්‍ය වුණා.” යනුවෙන් සඳහන් කළේය.

තවද තමන්ට ලැබුණු අවස්ථාව ගැන ද අදහස් දැක්වූ ජනිත් මෙසේ ද පැවැසීය. “පසුගිය කාලය පුරා මම ඉතා මහන්සි වී හොඳින් පුහුණුවීම් කළා. එසේම මට අවස්ථාවක් හිමි වූ විට ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීම මගේ ඉලක්කය බවට පත් වුණා. ඒ අනුව මෙය මට ඉතාමත් හොඳ තරගාවලියක් බවට පත් වූ අතරම ඉදිරි කාලයේදීත් මට අවස්ථාව හිමි වුවහොත් මෙම රිද්මය පවත්වා ගැනීම ඉලක්කයයි. එසේම මීට වඩා ඉදිරියේදී දස්කම් දැක්වීම මගේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස අපි හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නවා. එසේම මෙම තරගයේදී අපි ගනු ලැබූ තීරණය කිහිපයක් අපගේ වාසියට හේතු වුණේ නැහැ. එසේ වුවත් අපි සතුව තරුණ දක්ෂ ක්‍රීඩකයින් රැසක් මේ වන විට සිටිනවා. ඒ අනුව ඉදිරි සිවු වසරක කාලය තුළ අපිට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟා ගත හැකි බව විශ්වාස කරනවා.”

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ද මෙසේ පැවැසීය. “මෙම තරගයේ සවුම්‍යල් සර්කාර් මුහුණදුන් අනතුරින් පසුව අතිරේක ක්‍රීඩකයකු ආදේශ කිරීම සඳහා අවසර ලබා දීම ගැනත් පුදුමයට පත් වුණා. එසේ වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති පද්ධතියක් මෙන්ම රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකුත් තිබෙනවා. අපි ඊට ගරු කළ යුතුයි. අපගේ පෞද්ගලික අදහස් කෙසේ වුවත් අදාළ නීති රීතීන්ට අනුකූලව ක්‍රීඩා කළ යුතුයි. කෙසේ වෙතත් අදාළ අනතුරේ රූපරාමු අපි නැරඹුවා. ඒ අනුව ආදේශ කළ ක්‍රීඩකයා දුටු විට අපි පුදුම වුණා. ඒ වගේම කාසියේ වාසිය සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ මුළු කණ්ඩායමේම එකඟතාවය මත බව ද ශ්‍රී ලංකා සහාය පුහුණුකරුවා මෙහිදී කියා සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment