පාතාලය සුන් කරන මෙහෙයුම ඇරැ‍ඹෙයි

511

අල්ලන මැරයන්ට නීතිය තදින්

ජීප් රථ, යතුරුපැදි සහ අවි ආයුධ සමග ප්‍රහාරක බළඇණි 20 ක් වැඩට බසී

දකුණ සහ බස්නාහිර පළාත්වල ජනතාව භීතියට පත් කරගෙන මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවන පාතාල කණ්ඩායම් විනාශ කර දැමීමේ දැවැන්ත මෙහෙයුම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 දා) ආරම්භ කෙරිණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ සහ පොලිස් අපරාධ මර්දන අංශවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් පාතාල මර්දන ප්‍රහාරක ඒකක 20 කින් සැදුම්ලත් කණ්ඩායම් මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී සිටිති. මෙම මෙහෙයුම ආරම්භ කිරීම ඊයේ උදෑසන පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.

ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින පොලිස් ඒකක, පාතාල කල්ලි ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිට සිය මෙහෙයුම් ආරම්භ කරන අතර අපරාධවලට සම්බන්ධ පාතාල මැරයන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.

පොලිස්පතිවරයාගේත්, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයාගේ සහ අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේත් ඍජු අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුමට සම්බන්ධ විශේෂ ඒකක ක්‍රියාත්මක වෙයි.

බස්නාහිර සහ දකුණ පළාත් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කල්ලි 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල කල්ලි ක්‍රියාත්මක වන ප්‍රදේශවලට විශේෂ ප්‍රහාරක ඒකක අනුයුක්ත කර ඇති අතර එම සෑම ඒකකයකටම ජීප් රථ, යතුරුපැදි සහ අවි ආයුද ලබා දී ඇත.

මේ අතර එම ඒකක සඳහා අපරාධ අංශ ස්ථානාධිපතිවරයකු, බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනකු, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු නිලධාරීහු 09 දෙනෙක් අනුයුක්ත කර සිටිති.

ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment