අයි එම් එෆ් කතා අවසන් වූ පසු පක්‍ෂ නායකයන්ගේ යෝජනා ගන්නවා – ජනාධිපති මැතිසබයේදී කියයි

53

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් අයි එම් එෆ් සාකච්ඡාව අවසන් කළ පසුව පක්‍ෂ නායකයන් කැඳවා ඒ අයගේ යෝජනා ද ලබාගෙන ඊට අදාළ නීති කෙටුම්පත් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) මහතා විසින් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

හර්ෂ ද සිල්වා මහතා – ජනාධිපතිතුමා මෙතැන සිටින නිසා මම කැමැතියි මේක අහන්න. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ දවස්වල කරගෙන යනවා. ඡන්දෙට තව තිබෙන්නේ මාස කිහිපයයි. ඊළඟට පත්වන ආණ්ඩුව බැඳී සිටිනවා මේ ණය හිමියන් සමඟ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ සමඟ සාකච්ඡා කරලා එකඟතාවයකට ආවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. මොකද ඔබතුමා තනතුරේ තව කොපමණ කාලයක් ඉඳියිද කියලා අපට කියන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රේමදාස මහතා යටතේ ඒ වැඩ කටයුතු කරන්න. එතකොට මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කරන්න කැමැතියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මම කොතරම් කාලයක් ඉන්නවා ද කියන ප්‍රශ්නයට කලින්, ඔබතුමා මුදල් කමිටුවේ සභාපති ලෙස කොතරම් කාලයක් ඉන්නවාද කියන එකයි ප්‍රශ්නය. චම්පික රණවක මන්ත්‍රීතුමා යන්න ගියා.

අපි පිළිගන්නවා මේක මුළු රටටම බලපාන කාරණාවක් බව. ඒ නිසා මම අයි එම් එෆ් එකත් එක්ක මූලික සාකච්ඡාව පැවැත්වූ පසුව මම පක්‍ෂ නායකයන් කැඳවනවා. විකල්ප අදහස් තිබෙනවා නම් අපි ඒ සියල්ල අරගෙන, ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා අවසන්වූ පසු ඒ සියල්ල ඇතුළත් කරලා නීති කෙටුම්පත් සකස්කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment