බිත්තිය සිදුරු කරගෙන පැන උකස් මධ්‍යස්ථානයෙන් කෝටි 02 ක රන්බඩු උස්සලා

537

මිහින්තලේ අවට ගොවීන් රත්‍රං උකස් කරන තැනක්

අනුරාධපුර මිහින්තලය ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය ආසන්නයේ පිහිටි උකස් මධ්‍යස්ථානයක බිත්තිය සිදුරු කරගෙන ඊයේ (12දා) අලුයම එහි කඩා වැදී ඇති සංවිධානාත්මක කොල්ල කල්ලියක් එහි සේප්පු කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් රන් ආභරණ සොරාගෙන පලාගොස් ඇත.

පෙරේදා (11 දා) සවස් කාලයේ මෙම උකස් මධ්‍යස්ථානය වසා දමා ගිය පසු මෙම සංවිධානාත්මක කල්ලිය එහි කඩා වැදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. උකස් මධ්‍යස්ථානයට යාබදව පිහිටි පානීය ජලය අලෙවි කරන වෙළෙඳ සලකට මුලින්ම ඇතුළු වී ඇති සංවිධානාත්මක කල්ලිය එහි බිත්තිය සිදුරු කර යාබද වෙළෙඳ සලේ පිහිටි උකස් මධ්‍යස්ථානයට ඇතුළුවී ඇත.

පසුව උල් ආයුධ යොදා ගෙන එහි තිබූ සේප්පු විවෘත කරගෙන ඇති සංවිධානාත්මක කල්ලිය කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් රන් භාණ්ඩ සියල්ල සොරාගෙන තිබේ.

මෙම උකස් මධ්‍යස්ථානයේ තවත් සේප්පුවක තිබූ රන් ආභරණ තොගයක් සොරුන්ට රැගෙන යෑමට ඉඩ ලැබී නැත.

මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශවල ගොවීන් ඇතුළු ගැමි ජනතාව බහුතරයක් තමන් සතු රන් ආභරණ මෙම උකස් මධ්‍යස්ථානයේ උකසට තබා මුදල් ලබාගෙන තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම කල්ලිය උකස් මධ්‍යස්ථානයට ඇතුළු වීමට පෙර එහි තිබූ සීසීටීවී කැමරා පද්ධතිය අක්‍රීය කර ඇති බවද පොලිසිය පවසයි.

මිහින්තලය ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. එම්. එස්. බී. පෙරේරා මහතාගේ උපදෙස් මත මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. ආර්. ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ. සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
හේමන්ත රන්දුණු සහ මිිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment