තෝනිගල සෙල් ලිපිය ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව

357

ලෝකයේ මෙතෙක් සොයාගත් ආර්ථික හා බැංකු ක්‍රමයක තොරතුරු ඇති එකම සෙල් ලිපිය බව තහවුරු වේ

වවුනියාව, හොරොව්පතාන පාරේ පිහිටි ඓතිහාසික තෝනිගල සෙල් ලිපියේ ආරක්ෂිත මඩ තට්ටු ඉවත් කිරීමෙන් පසුව දැන් මහජනතාවට දක බලා ගැනීම පිණිසත්, පර්යේෂකයන්ට ඒ පිළිබඳ තොරතුරු හැදෑරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසර තිස් අටකට පසුව අවස්ථාව සලසා දී තිබේ.

එමෙන්ම මෙම සෙල් ලිපියේ ආරක්ෂාව පිණිස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද දවසේ පැය විසි හතර පුරාම සේවයේ යොදවා සිටිති. යුද සමයේදී මෙම ප්‍රදේශයට යෑමට නොහැකි වූ අතර කාලතුවක්කු උණ්ඩ වැටී සෙල්ලිපියට හානි සිදු වීම වළක්වා ගැනීම පිණිස එම සෙල් ලිපිය විශාල මැටි තට්ටුවකින් වසා ආරක්ෂා කොට තිබුණි. මේ වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එම මඩ තට්ටුව ඉවත් කොට සෙල් ලිපිය පිරිසිදු කොට මහජනතාවට දක බලා ගැනීමට අවස්ථාව උදා කොට තිබේ.

වවුනියාවේ සිට හොරොව්පතාන මාර්ගයේ සැතපුම් 6 ක් දුර ගිය විට හමුවන මෙම ඓතිහාසික තෝනිගල සෙල්ලිපිය ලෝකයේ මෙතෙක් සොයා ගෙන ඇති සෙල් ලිපි අතරින් ආර්ථික හා බැංකු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරෙන එකම සෙල් ලිපිය බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ. මෙම ලිපිය පිළිබඳ පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් මහතා විස්තර වාර්තා කොට ඇති බවත්, පසුව 1892 දී එවකට ශිලා ලේඛන භාර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඩී. එම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහ මහතා මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්තුවේ වාර්තා කර ඇති බවත් සඳහන් වෙයි. එච්. සී. පී. බෙල් මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මෙම ලිපියේ නේත්‍ර පිටපතක් සකස් කළ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙල් ලිපිය අක්ෂර පේළි 17 කින් යුක්ත වන අතර මෙහි මුල් අක්ෂර පේළි හතර අඩි 9 ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8 ක් හා අවසාන පේළිය අඩි 2 ක් දිගින් ද යුක්ත යි. වර්ග අඩි 10 ක පමණ ප්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්ෂරයක සාමාන්‍ය උස අඟල් 3 ක් වෙයි. වර්ෂ 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙහි ස්පර්ශ ලාංඡන පිටපතක් ගෙන මෙය කියවා පළ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment