නෙළුම් වැව රජයේ ගොවිපළේ වැඩබලන කළමනාකරු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනමක්

91

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් පොළොන්නරුව ගල්ලෑල්ල නෙළුම්වැව රජයේ සත්ව ගොවිපළට වන අලින් ඇතුළුවීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමේ සිද්ධිය මුල්කරගෙන එම ගොවිපළේ වැඩබලන කළමනාකාරවරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (04දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පෙරකී සිද්ධිය මුල්කරගෙන තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩබලන කළමනාකාර ටී. ඩබ්ලිව්. අජිත් ප්‍රියන්ත ද සිල්වා මහතා විසින් පසුගිය 02 වැනිදා නීතිඥ සංජය කළුආරච්චි මහතා මගින් රිට් ආඥා පෙත්සමක් ගොනුකර තිබිණි. එම පෙත්සම ඊයේ (04දා) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් පෙත්සම්කරු එම අලි අගල් කැපීම සිදුකර ඇත්තේ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවය මත නොව ඔහු වෙත පැවරී තිබූ රාජකාරීමය වගකීමක් ඉටුකරමින් වන්නේ යැයි අධිකරණයට පැවසීය.

ජාතික පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් ක්‍රියාවට නැගීම පමණක් ඔහු සිදුකර ඇති බවත්, රජයේ වගකිව යුතු නිලධාරියකු ලෙස නිසි අනුමැතිය ඇතිව රාජකාරි වගකීම් ඉටු කළ පෙත්සම්කරුට යම් කිසිවකු ඔහුගේ පටු පරමාර්ථ ඉටුකර ගැනීමේ අභිලාසයෙන් නීතියේ රැහැනට කොටුකරලීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයට පැවසීය. එම කරුණු සලකා බැලු අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් ලබන 09 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර එදින එම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා යළි කැඳවීමටද නියෝග කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්. එම්. කේ. විජේකෝන්, පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.

2016 වසරේ රුපියල් මිලියන 6.5 ක මුදලක් යොදවා අලි ඇතුන් ඇතුල්වීම වැළැක්වීමට ගොවිපළ වටා විදුලි වැටක් ඉදිකිරීමට පියවර ගත් නමුත් මේ වනවිට එම අලි වැටද සම්පූර්ණයෙන්ම පාහේ කඩා බිඳ දමා ඇති බවත් අක්කර 2000 ක භූමි භාගයකින් යුත් එම ගොවිපළට අලි ඇතුන් සිදුකළ හානිය රුපියල් මිලියන 13 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට කියා තිබිණි.

සිදුවන වගා හානියට අමතරව අලි ඇතුන් කඩාවැදීම නිසා ජීවිත අවදානමද දැඩි ගැටලුවක් වී ඇතැයිද කියා තිබූ පෙත්සම්කරු සිය ගොවිපළේ කුඹුරු අක්කර 225 ක වී වගාවද එළවළු හා අතිරේක බෝග අක්කර 25 ක වගා කරනා බවත් කුඹුරු බිම්වලට වන අලින් සිදුකරන හානිය නිසා වාර්ෂිකව වී බුසල් 2000 ක පමණ අස්වැන්නක් අහිමි වන බවත් කියා තිබිණි. එයට අමතරව වාර්ෂිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් අලි ඇතුන් පලවා හැරීම සඳහා වැය කිරීමට සිදුවන්නේ යැයි අධිකරණයට කියා තිබූ පෙත්සම්කරු එවන් හානි අවම කිරීම සඳහා විදුලි වැට දෙපස නිසි අනුමැතිය ඇතිව අලි අගල් කැපීම ආරම්භ කළ බවද වැඩිදුරටත් පවසා තිබිණි. වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ පූර්ව අවසරයකින් තොරව වන අලින් ඇතුළු සතුන්ට හානිකර ලෙස විදුලි වැට ට සමගාමීව දෙපසින් ද්විත්ව අගලක් කපා නීති විරෝධී සංවර්ධන කටයුත්තක් කළ බවට චෝදනා නගමින් පෙත්සමේ පළමුවන වගඋත්තරකාර අඩවි සහකාරවරයා තමන්ට හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට එරෙහිව පොළොන්නරුව අධිකරණයට පැමිණිල්ලක් කර ඇති බවද හෙතෙම අභියාචනාධිකරණයට වැඩිදුරටත් කියා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment