පත්තර මල්ලිගේ රිදී ජුබිලිය

313

පත්තරයා හෙවත් මගේ මිත්තරයා ගැන ලියමි. නුවාගේ රජත මංගල්ලය හේතුවෙන් පිටුවක් අරන් පුටුවක් අරාන ඉන්නා කර්තෘ මහතුන් ගානේ යනවා දකිමි. කවදත් අකුරුවලට පණක් ඇතැයි හිතන මාත්, මියගිය අකුරු කොළවල ඇලවූ විට ඉන් උත්තානය ලබන පුවත් මතින් පුනර්භවය ලබන ඌත් අතර මත දෙකකි. රේඩියෝ අකුර ලේඛනයෙන් තැබීමට නොව භාවිත භාෂණයෙන් ප්‍රකුර්තියට නංවා දියෙන් ගොඩලූ මසෙකු මෙන් පණ ගැහෙනා, මුත් හදැති බසක් තනන්නට කලක් වෙහෙසුනෙමි. එකල හඩුවට නංවා අපට පහර දුන්නෝ වියත් බස් වඩුවෝම වම්හ. අප ගුරු ජේ. බී. සර්ද මේ වෙරම දරා පොත් පත්තර පුරා කා..බී.. ඇති බව සමකාලීන උන් දනිති. වන්නාට, නැවත නුවාගේ දිවි නැවට නගිමි.

එකල ඔබ මෙය කියවන සමාජ මාධ්‍යය සකර්බර්ගේ පියාගේ පෙනෙල කැඳ කෝප්පයේවත් නැත. මාධ්‍යය මාර්ග දෙකක් පමණක් ඇමීබාවා සේ බෙදෙමින් වැඩිනි. අකුරු උගත් වියතුන්ගේ මහා පත්තර මගත්, මහා ගෙදරින් උගතුන්ගේ සම්භාවනාවට පත් රේඩියෝ බසත් ය. මහා කැනපිය යට දෙවැනි පෙලක කස කරුවෝ ඉස් උස්සනු වෙනුවෙන් නව රටා මතින් සම්මතයට අභියෝග කරමින් නැගෙන කලෙකි ඒ.

විසල් නාමධාරී මුල්පුටු හෙබවූවෝ, නමඅගට මහතුන්ම වීහ. උන්නැහැලාගේ විත්තිය බණ්ඩාරනායක සේනානායක තරම් ඈතට යමින් අදටත් මහේශාක්‍යව දත්ත පොතට ඇතුල් වන අතර ප්‍රිය සංස්කෘතිය ඉලක්ක ගතව නැගුනෝ පොඩි මාස්ටර්ලාම විය. ගාමිණී, ජෝ, මහත්තුරු වී විජේ අයියා වූ අයුරින්මය.

අකුරු දත් එකා උගතා බැවින්, ඌ ඔසවා ලිය යුතු බවට සිතන්නට අකුරු කළ තැන් වලින් ම කියා එවූ හෙයින් උන් මරණෙන් මතු නොව ජීවිතේ මැදදීම “යාණන්” නාමකරණයෙන් නම අගින් ඉහළට ඔසවා ඉනිදු නොනැවතී ප්‍රවීණ ගත්කරු, ගේය පද රචක, මාධ්‍යවේදී බදු අඩු යොදා මුලින්ද ඔසවා වෙනම තලයකින් තැබිණි. ළඟින් උන්නන්ට “අයියා” වන බලකණු යුගයයි ඒ……

පාට පත්තර පාරේ මල් දෙවැටේ හද පෙළු අපේ කාලයට මඳක් කලින් සිටි යුගයේ ආදරණීයම “අයියා” අවංක සුපේශල බසකින් හදේ සියුම් තැන් පාරවමින්, උගුරට කඳුළු රස දෙමින් දයාදර නැගෙණියන් බසින් මුසපත් කළ “කුමරි” පත්තරේ එකල තරුණ කතුවරයා විය. ආරූඪ නාමයෙන් ලියූ ඒ අයියා මල් දෙවැට ලියූ “බන්දු අයියා” විය යුතුය. ඉන් ලද ආලෝකය මතින් නව යොවුන් හදමල් යායට පිණිමල් ඉස්සෝ අතර මගේ උසස් පෙළ ගුරු උපුල් ශාන්ත සන්නස්ගලයෝද ප්‍රමුඛය. (හැට පැන්නත් තාම රොටරි යන සන්නා සර් ගැන නොපල කෘතිය තාමත් මා සතුය.) ඉන් නැගුනු ආදර අකුරු රැල්ලේ යුගයේ දයාබර නාම ලැයිස්තුවේ, ප්‍රදීප් කුමාර බාලසූරිය සුජීව ප්‍රසන්න ආරච්චි, දිනේශ් කොලඹගේ, මතක ඇති නාමාවලියක මුලින් එන නම් ය. බන්දු අයියා ප්‍රාග්ධන නියාමනයට ලක්ව ප්‍රධාන ධාරාවට විත් ලක්බිමේ මුල්පුටුවේ බන්දු මහතා වීමත් සමගම. පෙරකී අකුරු ලියූ අයියලාගේ යුගයක ජීවචක්‍රය “මහතුන්” ලෙස ඌණනය වුණෝදෝයි සිතෙයි. මේ කථාව සවිස්තරාත්මකව අසා ගන්නට සිරි රණසිංහ මහතා බඳු කවදත් සැමත් සමග එකට සිටිය හැකි මැදිහත් කරුවෙක් සුදුසු බව දැනට හඟිමි.

නිමල් අයියා මහගෙදර ක්‍ෂුද්‍ර නාමධාරී පොරකි. රේඩියෝවට සුදර්ශියෙන් බට කරෙකි. මහා පුරුෂයන් හා දැකුමත්, යටිබිම්ගත ඇසුරත් මැදින් උපන් හයිබි්‍රඩ් පන්නයේ දැකුමෙකි. තණමල්විලින් උපන් දුමක තරම් සැහැල්ලුවෙන් සමාජ සංකථනයන් දොවාලන නව හැරවුමක පීතෲවය දැරු හේ.. අයියා මල්ලී කතාවෙන් ඇමතුවද සමකාලීන පරපුරේ ලොක්කා ලෙසම ඇමතුම් ප්‍රියෙකි. නැති තැන ජැකා වූ ලියන්නට අඳින්නට, නටන්නට ගයන්නට රඟන්නට යකා වූ එකා ගේ රේඩියෝ ආගමනය නිමලුන් හා සමාන්තර වකවානුවක විය. ඔවුහු අයියා (ර්) වරු වූ අතර යාණන් වෙනුවට නම අගට “යා” යන්නෙන් පහර කෑ යටි පෙළ අතර කිංස්ලියා ගේ නමද කියැවිනි. අවවාද කොට මෙල්ල කළහැකි මල්ලිලා උපදින්නෙ ඔකලය. චූටි මල්ලි පොඩි මල්ලි, සුදු මල්ලි එන්නට කලින් පත්තර මල්ලි ආවා යැයි මතකය… ජැකා මුලින්ම වාගේ පත්තර පිටු අරන් ඕසෙට කියවා දානු ඇසීමි.. මා විසින් මෙසේ අසන ලදි කියා ඇරඹි භානක පරපුරක් ලෙසින්ම අතින් නොදා ලියූ දේ කීම ඇරඹිණි.

නුවා පත්තර මල්ලි ලෙස බයිසිකල් පැඩල් සද්දෙ දමාගෙන බෙල් එක ගහන්නේ, කිරි කාරයා, පත්තර කාරයා, මාළු කාරයා, ලියුම් කාරයා බඳු උන්ගේ රේඩියෝ හිමිකාරයා වෙමිනි. හැබිචෝල් ස්වරයෙන් මයික් එක දෙපස උන්ට මහත්තයෝ කියමින් පහළ යැයි සම්මත බසෙන් හැඩ ගෙන වාර්තා බසකින් ලියූ අකුරු කීමේ පෙරලිය ක්‍රමානුකූලව ඇරඹෙන්නේ රේඩියෝවෙන් එතැනිනි. (මේ වැකි පෙළ අවුල් ලෙස දැනෙන්නෙ යම් සේද ඒ කාලයේ ඒ පුවත් කියවුණු ක්‍රමයද එසේමය).

සජීවිතව පත්තරයේ වාර්තාව ලිඛිත බසින් එක්වනම සමාජ ස්ථර තුන හතරකට ඌණනය කොට එම ස්ථරවල හමුවන වචනවල ඔතා විසිරවීම සුළුපටු වෑයමක් නොවන්නේ එකල එලෙස ක්‍රමයක් නොවූ නිසාමය. අමු අමුවෙන් ජේ. බී. සර්ගේ පොත්වල ඇති ලියුම් රටාව, ස්වරය මාරුකොට කියමින් එමගින් අදටත් ජීවත්වන ප්‍රකට චරිත වල අතිශය ඕලාරික වෑයම් සම්මානිත වන ආකාරය පෙරහැරෙන් පිට සිට බලා සිටින්නෙකුට කවදා පෙනේදැයි නොදකින බැවින් නුවාගේ එම දස්කම ලියා තැබිය යුත්තේමය.

පත්තර මල්ලී පණ්ඩිත රත්නයක් නොවන්නේ විසිපහක් ගියත් ඌ තාම මල්ලී ම බැවිනි.

එක කලෙක එකම ධාරාවක වෙහෙසුනු වෙනත් ආයතනයක, වෙනත් පක්ෂයක, වෙනත් ආගමක, වෙනත් පළාතක, වෙනත් පාසලක, වෙනත් වයසක, නමුත් සමානව සිතන, සමානව අත්විඳින මගේ පැරණි රේඩියෝ කාරයාට සුබ පතමි. නුවා හෙවත් පත්තර මල්ලිගේ රිදී ජුබිලිය වෙනුවෙන් ආදරයෙනි……

(මුහුණු පොතේ තැබූ සටහනකින් සැකසිණි)

කිංස්ලි රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment