පාතාලයේ ‘වේග බට්ටා’ට වැලිවේරියේදී වෙඩි වදී

725

වැලිවේරිය ජුබිලි මාවතේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මාදෙල්ගමුවේ ‘වේග බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයාට පෙරේදා (05දා) පෙරවරුවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඇතැයි වැලිවේරිය පොලිසිය පවසයි.

පස් කැපීමේ ප්‍රශ්නයක් මුල් කරගෙන ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පාතාල සාමාජිකයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයිද වැලිවේරිය පොලිසිය පවසයි.

උඩුගම්පොල මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නුවන් රංජන් කොප්කුම් විජේසිංහ හෙවත් වේග බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි පාතාල සාමාජිකයා වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් සිටින පස් පොඩ්ඩා නමැති පාතාල නායකයාගේ රියැදුරකු ලෙස කටයුතු කර ඇති අයකු බවත් වෙනත් මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබා සිටින අයකු බවත් පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරය පාතාල සාමාජිකයාගේ දකුණු අත ප්‍රදේශයට එල්ල වී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. එම වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති බව පොලිසිය පවසයි.

තුවක්කුකරුවන් පැමිණි එම යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අතහැර දමා තුවක්කුකරුවන් මාර්ගයේ ගමන් කළ ලොරියකින් පලාගොස් ඇති බව වැලිවේරිය පොලිසිය කරන මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත වැලිවේරිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, ගම්පහ සමූහ – සුසිල් රණමුක සහ යක්කල – රුවන් සමන්ත අධිකාරි

advertistmentadvertistment
advertistmentadvertistment