බැසිල් අදින නූලට අනුව මැතිවරණය තීරණය වෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

91

බැසිල් රාජපක්ෂ විසින් අදින නූලට අනුව ඉදිරියේ පවත්වන්නේ කුමන මැතිවරණයද යන්න තීරණය වෙන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සමගි ජන සන්ධානය ඒකාබද්ධව කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව 19 සහ 20 යන දින දෙකේ විවාද කිරීමට නියමිතව තිබෙනවා. ඔන්ලයින් පනත සම්මත කිරිමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් මතු වුණ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තමයි කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ. ඔන්ලයින් පනත සම්මත කිරීමේදී කතානායකවරයා විපක්ෂය පෙන්වා දුන් කරුණු පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඔන්ලයින් පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් සංශෝධන පිළිබඳවත් අවදානය යොමු කළේ නැහැ. මේ කරුණු දෙක නිසා තමයි කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ.

2024 ජනාධිපතිවරණය අගෝස්තු සැප්තැම්බර් කාලය තුළ පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයට යන්න ආණ්ඩුවේ සූදානමක් තිබෙන බවටද විවිද කතා පැතිරෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඔවුන් ඉන්නේ ජනාධිපතිවරණය දිනන්න බෑ කියන මතයේ. ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා ඔවුන් උත්සහ කරන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන ඔවුන්ගේ බලය යම් මට්ටමකින් හෝ රැක ගැනීමට.මන්ත්‍රීධුර 50 ක්වත් රැක ගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ. ඔවුන්ට ඕන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක්. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ස්ථාවර තීරණයට පැමිණ නැති බවද වාර්තා වෙනවා. කුමන ජාතික මැතිවරණයක් පැවැත්තුවත් සමගි ජනබලවේගය සූදානම්. සමගි ජන බලවේගයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් වහාම ජනතාවට ලබාදෙන්න. ඊට හේතුව පවතින ආණ්ඩුවට ජනමතයක් නැති ආණ්ඩුවක්. රටේ ජනාධිපතිවරයා ජනතාවගේ කැමැත්තෙන් පත්වුණ ජනාධිපතිවරයකේ නෙවෙයි.

ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතරය ලබාගැනීමට මේ වනවිට වෙනම ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදි කියන ලේබලය අලවා ගන්න. පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයක්ද කියලා අභ්‍යන්තර තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ. ජනාධිපතිවරයා දන්නවා ඔහුට ඉතිරි කාලය රැඳි සිටීමට සිදුවන්නේ පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්ත ගත්තොත් විතරයි. බැසිල් රාජපක්ෂ අදින නූලට අනුව තමයි ඉදිරියේ සිදුවන්නේ කුමක්ද කියලා තීරණය වෙන්නේ. මැතිවරණ පවත්වන්න සල්ලි නැහැ කියපු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දාලා ඇඟ බේර ගත්තා. දැන් තමන්ගේ බලය රැක ගැනීමට මැතිවරණ දෙකම තියන්න සූදානම් කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment