මගේ මහත්තයා දිවිනසා ගැනීම අපට සැකයි- මියගිය SI‍ ගේ බිරිඳ

556

සැකකටයුතු කරුණු රැසක් අප දුටුවා – සොහොයුරා

සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගිය බව කියන නොච්චියාගම රඹෑව පදිංචිව සිටි උප පොලිස් පරීක්‍ෂකවරයාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ හා ඥාතීහු පවසති.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ආර්. රුවන් කුමාර පසුගිය හයවෙනි දින සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගිය බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබුණි. එහෙත් මේ පිළිබඳව පවුලේ ඥාතීන් පවසන්නේ ඔහුට සියදිවිනසා ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බවයි.

මේ පිළිබඳව මියගිය රුවන් කුමාරගේ බිරිඳ වන ප්‍රියදර්ශනී ඒකනායක මෙසේ පැවසුවාය. මියගිය මගේ මහත්තයා වසර තිස්නමයක් පොලිසියේ රාජකාරි කළා. ලංකාවේ විවිධ ස්ථානවල රාජකාරි කළා. ඔහුට මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී තිබුණේ නෑ. සියදිවි හානිකර ගැනීමට තරම් ඔහුට පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ.

ඔහු මියගිය දිනට පෙර නිවාඩු ලබා නිවසට පැමිණ සිටියා. එදින ඔහුට නොච්චියාගම පොලිසියෙන් පණිවිඩයක් ලැබුණා. පසුදා එනම් හයවෙනි දින පෑලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී පරීක්‍ෂණයක් පැවැත්වෙන නිසා එයට සහභාගී වන ලෙස දැනුම් දී තිබුණා.

එවිට මට මහත්තයා කිව්වා ඊට පෙර අධිවේගී මාර්ගයේදී වාහනයක් පරීක්‍ෂා කිරීමේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධව පරීක්‍ෂණයක් සඳහා තමන් ඇතුළු කිහිප දෙනෙකුට පැමිණෙන ලෙස දන්වා ඇති බව. එම පරීක්‍ෂා කළ වාහනයේ කාන්තාවක් හා පිරිමි දෙදෙනකු සිටි බවත් එහි සිටි කාන්තාව තමන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් මට කිව්ව. පසුව මහත්තයා මේ බව වැඩබලන ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවත් එවිට ඔහු තවත් අයකු සමඟ සිවිල් ඇඳුමින් එම ස්ථානයට ආවා කිව්වා. එහිදී එම වාහනය නිදහස් කරන ලෙසත් පරීක්‍ෂා නොකරන ලෙසත් ස්ථානාධිපතිවරයා තමාට පැවසූ බවත් මහත්තයා මට කිව්වා. එහිදී මගේ මහත්තයා සටහනක් යෙදීමට සූදානම් වන විට සටහන් ලියන්න එපා කියල උපදෙස් දීල තියෙනව. වාහනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණයකටයි එන්න කියලා තියෙන්නේ. මට අසාධාරණයක් වුණොත් මම සියලු කරුණු හෙළි කරනවා කියලා මහත්තය මට කිව්වා. එම නිසා මේ මරණය පිළිබඳ මට සැකයි. මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කළ යුතුයි. මගේ මහත්තයට සාධාරණය ඉටුකළ යුතු යැයි ද පැවැසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ උප පොලිස් පරීක්‍ෂකවරයාගේ බාල සහෝදරයා වන රත්නායක මෙසේ පැවැසීය.

සිද්ධිය වූ දින මම නුවර හිටියේ. සිද්ධිය දැන ගැනීමෙන් පසු මමත් මගේ අනෙක් සහෝදරයාත් වහාම එම ස්ථානයට ගියා. අපට එහිදී සැක කටයුතු කරුණු රාශියක් දැකගන්න ලැබුණා. ඒ අනුව අපි අධිකරණ වෛද්‍යතුමාට ප්‍රකාශ කළා. මේ මරණය පිළිබඳව සැක සහිත බව. අයියා සාධාරණව රාජකාරී කළ කෙනෙක්. සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා අපට සාධාරණය ඉටුකර දෙන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද පැවැසීය.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment