මඟුල් ගෙදර යද්දී ත්‍රිරෝදය බවුසරයක ගැටීමෙන් විසි හැවිරිදි තරුණිය මරුට

215

අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයේ ගලේවෙල, මාතලේ හන්දිය ආසන්නයේදී පෙරේදා (23 දා) සිදුවූ බවුසර් රථ – ත්‍රිරෝද රථ ගැටුමකින් ත්‍රිරෝදයේ ගමන්ගත් 20 හැවිරිදි තරුණියක් මරුමුවට පත්වී ඇතයි ගලේවෙල පොලිසිය පවසයි.

අනතුරින් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මියගිය තරුණියගේ පියා, මව හා ඇගේ බාල සොහොයුරියද තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ පොලොන්නරුව, සිරිපුර පදිංචිව සිටි ලෝචනා කාව්‍යාංජලී නමැති තරුණියකි.

මෙම තරුණිය ඇතුළු පිරිස ත්‍රිරෝද රථයෙන් හිතවතකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඇයගේ උපන්දිනයද අද (25 දා) ට යෙදී ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. විපුල බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රෆායිඩීන් මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment