මනමේ… මවු මරා උපන් කුමරෙක් ද?

433

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මියගොස්  2022-08- 16 දිනට  වසර 26ක් සම්පූර්ණ වුණි.

 1956 නොවැම්බර් මස 03 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී මනමේ නාට්‍ය ප්‍රථම වරට රඟ දැක්වීමෙන් පසු එක්තරා විචාරකයෙක් පවසන්නට යෙදුණේ මවු මරා උපන් කුමරා යනුවෙනි. ඔහුගේ මේ ප්‍රකාශයේ යටිපෙළ ගැඹුරු අරුතක් ඇති විය. ඒ අරුත වටහා නොගත් ඇතැම් විචාර විදුශකයෝ ඒ පිළිබඳ ගෝරානාඩු කළහ. මනමේ බිහිවීමත් සමග දක්‍ෂිණ ප්‍රදේශයේ ජන භක්තියට හා ගෞරවයට පාත්‍රව තිබූ ‘මනමේ කෝළම’ අභාවයට ගිය බව නොරහසකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් මනමේ ප්‍රතිනිර්මාණය වන්නේ ඒ කෝළම් (නාට්‍යයෙහි සාධනීය ලක්‍ෂණ ගෙන නිෂේධනීය අංග බැහැර කිරීමෙනි.)

 මනමේ නාටකය වූ කලී දකුණු පළාතේ මුහුදුකරය ආශ්‍රීතව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ මනමේ කෝළමේ ප්‍රතිනිර්මාණයකි. බළපිටිය අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ නොසිටින්නට මනමේ නමින් නාට්‍යයක් බිහි නොවන්නට ද ඉඩ තිබුණි. ඒ සත්‍යයම තහවුරු කෙරෙන මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ කියුමකි මේ.

 “සරච්චන්ද්‍රයන්ට ශෛලීගත නාට්‍ය සම්ප්‍රදාය ගොඩනැඟමේලා අවශ්‍ය වූ සම්පත් නොමඳව ලබා දී ඇත්තේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ බව කිව හැකිය. සරච්චන්ද්‍රයන්ට ඔහු හමුවීම එක්තරා දෛවෝපගත සිද්ධියක් වැන්න. දේශීය නාට්‍ය කලාවක් ගොඩනැඟීමට සරච්චන්ද්‍රයන්ට ගුණසිංහ ගුරුන්නාන්සේගෙන් ලැබී ඇති පිහිටාධාරය අනල්පය. නාඩගම් කලාව වර්තමානයට ගැළපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙන් ලැබී ඇති පිටිවහල සුළුකොට තැකිය නොහැකිය. සරච්චන්ද්‍රයන්ට ඔහු හමුනොවී නම් මනමේ නාටකය බිහි කිරීමට අවකාශ නොලැබී යන්නට ද ඉඩ තිබිණි.”

 මනමේ ප්‍රතිනිර්මාණයෙහි සත්‍යය මෙය මැය.ි එය කවුරු ප්‍රතික්‍ෂේප කළාහු ද? සරච්චන්ද්‍රයෝ ප්‍රතික්‍ෂේප නො කරති. මනමේ කතාව, ලංකාවේ දකුණු පළාතේ ගම්වල කෝළම් ශෛලියෙන් ද කවි නාඩගම් ශෛලියෙන් ද පතිවෘතය තේමාකරගෙන රඟ දැක්වූ බව රත්ගම උපන් සරච්චන්ද්‍රයෝ නො දනිත් ද? ඔහු මනමේ නාටකය ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙන් ලැබුවේ අනල්ප අලෝකයකි. ඒ බැව් සරච්චන්ද්‍රයෝ ම කියති.

 “මා මනමේ නාටකයේ පිටපත් ලියද්දීත්, නිෂ්පාදනය කරද්දීත් චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ මා ළඟ උන්නේය. ඒ දවස්වල ඔහු අපේ ගෙදර වාසය කළේය. කිසියම් අවස්ථාවක් නිරූපණය කිරීමට අසවල් විදියේ තනුවක් වුවමනා යැයි මා කීවිට ඔහු සින්දු කීපයක්  ගායනා කොට දක්වයි. මම ඒවායින් මට අභිමත තනුවක් තෝරා ගතිමි.

 “මනමේ කුමාරයා තම දියණියට විවාහ කරදෙන අවස්ථාවෙහි දිසාපාමොක් ආචාරීන් කියන ආශීර්වාදය බොහෝ නාඩගම්වල පාවිච්චි කරන පොදු එකක් යැයි ගුරුන්නාන්සේ කී බැවින් මම එය ඒස්වරූපයෙන්ම මගේ නාට්‍යය තුළට බහාලිමි.”

 “ගුණසිංහ ගුරුන්නාන්සේට සාහිත්‍යය පිළිබඳ දැනුමක් නොතිබුණ ද ඔහු ජනශ්‍රැතියෙහි හසළ බුද්ධිමතෙක් විය. මා කරන කාර්යය ඔහු අවබෝධ කරගෙන ඊට අනුකූල වන පරිදි මට උපදෙස් දුන්නේය. නාඩගම් ශෛලිය පිළිබඳව වුවද මා යම් යම් දේ ප්‍රතික්‍ෂේප කළවිට ඔහු ඊට විරුද්ධ වූයේ නැත. චිරාගත සම්ප්‍රදායක් වුවද මේ කාලයට අවශ්‍ය අයුරින් සකස් කරගත යුතු බව ඔහු පිළිගත්තේය.

 පැරණි කතාවේ තේමාව හා චරිත නිරූපණය වෙනස් කොට මගේ නාට්‍යය සකස් කරන බව මම ඔහුට කීවෙමි. බිසව කෙරෙහි අනුකම්පා සහගත දෘෂ්ටියකින් බැලිය යුතු බව මම ඔහු සමග කීවිට ඔහුට තරහ ගියේය.

 “ඔහොම ගෑනුන්ට මොන අනුකම්පාවක් ද මහත්තයෝ” යි කියමින් ඔහු මට කඩන් පැන්නේය.

 “ගුණසිංහ ගුරුන්නාන්සේ ගායනයෙහි මෙන් නැටුමෙහි ද මද්දල වාදනයෙහි ද එක සේ දක්‍ෂ විය. මේ හෙයින් මගේ නිෂ්පාදන කාර්ය භාරය බෙහෙවින් සැහැල්ලු වූයේය. පරණ සම්ප්‍රදායෙහි තිබූ කඩතොලු ඉවත් කොට මටසිලිටු රංගයක් ඉදිරිපත් කිරීමය. මගේ අධ්‍යාංශය වූයේ සාම්ප්‍රදායක නාඩගම්වල මගේ නාට්‍යයෙහි මෙන් සංවිධානය කරන ලද ගායක පිරිසක් නොවීය. තොවිල් පවිල්වල මෙන් ගුරුන්නාන්සේ ද බෙර වාදකයෝ ද වෙනත් ආවතේවකාරයෝ ද වරින් වර කොතැනක හෝ හිඳ අත්වැල් ගායනා කළාහුය.”

 බළපිටිය අම්පේ චාල්ස් සිල්වා ගුරුන්නාන්සේ වනාහි මනමේ නාටකය ලියා අධ්‍යක්‍ෂණය කොට රංගත කරන අවස්ථාව දක්වා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට උපදෙස් ලබාදුන් ගුරුවරයා ය. ඔවුහු සරච්චන්ද්‍ර කුටුම්බයේ ම රැඳී කටයුතු කළහ. සරච්ච්න්ද්‍රයන් ගුරුන්නාන්සේට සැලකුවේ පියෙකුට මෙනි. ඒ තරමට ගුරුන්නාන්සේගෙන් සරච්චන්ද්‍රයන්ට ලැබුණු දේ බොහෝය. මනමේ නාටකය ප්‍රතිනිර්මාණය කිරීමේදී සරච්චන්ද්‍රයන්ට මනමේ කෝළම හා මනමේ කවි නාඩගම ද පුරානෝක්ති බවට පත්විය. කෝළම් හා කවි නාඩගම් රංග ශෛලී දෙකකට ගැනුණ ද ඒ දෙකෙහිම පෙළ රචනය ජාතක කතාව අනුව ම රචනා කර ඇති බව සරච්චන්ද්‍රයෝ අවබෝධ කර ගත්තහ. මේ කතා දෙකෙහි දීම ස්ත්‍රීය ගර්භාවට පත් කරන අවස්ථා බහුලය. ඒවා මනාව වටහා ගත් සරච්චන්ද්‍රයෝ පොරණෑදුරන් අනුව නොගියහ. ඔවුහු පුරාණෝක්තීන්හි සාධනීය අංග ගෙන නිෂේධනීය අංග සියල්ලම බැහැර කළහ. ඒ පිළිබඳ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ ද කිසිම අකමැත්තක් නොවූ බව සරච්චන්ද්‍රයෝම කීහ.

 චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ නාඩගම් කලාව ඉතාම දුකසේ පවත්වාගෙන ආ කලාකරුවෙකි. ඔහු ස්වතන්ත්‍ර නාට්‍ය විස්සක් පමණ රචනා කළ බව වාර්තා වේ. ඒවා අතර දික්තල කාලගෝල, කාලිංග, සිරිමල් එතනා, හරිස්චන්ද්‍ර, සාලිය – අසෝකමාලා, විදුර රාමායනය, සිංහවල්ලී, සපුමල් නොහොත් සුළඹාවතී, කාලගෝල වෙස්සන්තර, සූර සරදියෙල්, සඳකිඳුරු, සම්බුලා සහ සංඛ්‍යපාල යන නාට්‍ය පෙන්වා දිය හැකිය.

 සරච්චන්ද්‍රයන්ගේ මනමේ බිහිවීමත් සමග මේ සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාව අභාවයට ගිය බව එකල ඇතැම් විචාරකයෝ මැසිවිලි නැඟූහ. එහෙත් මනමේ බිහිවීමත් සමග නාඩගම් කලාවට සිදුවූයේ විශාල සේවයකි. ඒ වූ කලී අභාවයට යමින් තිබුණු නාඩගම් කලාවේ ජීවය මනමේ තුළ චිරාකල් රැඳීමය. එනිසා මනමේ යනු පැරණි නාඩගම් කලාවේ නිශේධනීය අංග හලා සාධනීය අංග, නවාංග සමග සම්මිශ්‍රණය කර ඒ කලාව උසස් තලයකට ඔසවා තැබීමකි. ඒ පිළිබඳ මහාචාර්ය සුචරිත ගම්ලත්හූ මෙසේ කීහ.

 “මනමේ නාට්‍යය මෙරට ධනවාදී මැද පන්තියේ ඇල්ම හටගන්නා පරිදි කරළියට ගෙන එන්නට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට නාට්‍ය කලාව හා මෙරට නාට්‍ය විකාශනය පිළිබඳව ද එතුමන් ලත් පර්යේෂණාත්මක, හස්තසාර, මහාසාර, දැනුමට අමතරව පාරම්පරික නාඩගම් ශිල්පියෙකු වූ බළපිටිය චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ද පිටුවහල් විය. ඒ බව මනමේ නාට්‍යය වෙනුවෙන් වූ පොතේම දැක්වෙයි. කරළියේ ද ගුරුන්නාන්සේට තැනක් ලැබිණ. මද්දලය වැයීමට හෝ තාලම් පොට හැඬවීමට හෝ ඒ දක්‍ෂයාට අවසරය ද ලැබිණ. නාට්‍යය අවසානයේ කුල්මත් වූ ප්‍රේක්‍ෂක අත්පොළසන් පිරිනැමුණු මොහොතේ වේදිකාවේ පෙනී සිටී නිෂ්පාදක සරච්චන්ද්‍රයෝ වාi කණ්ඩායම වෙතින් ගුණසිංහ ගුරුන්නාන්සේ අතින් ගෙන ප්‍රේක්‍ෂක හමුවට ගෞරවයෙන් කැඳවා ජන ඔල්වරසන් ලබාදුන් සැටි පස්විසි වසරකට පසුත් මට තාම මතකයි. එය අර ශිල්පියා උද්දාම වූ මොහොතක් ලෙස දැනුදු සලකමි. කලාකරුවාට ජන ප්‍රසාදය තරම් අගනා කිසිවක් නැති හෙයිනි. ඒ අතින් සරච්චන්ද්‍රයන් සැඟවී සිටි කලාකරුවන් රැසකට ජන ගෞරවය ලබාදුන් බව පිළිගනිමි. ඒ අතරම සරච්චන්ද්‍රයන්ට ද ගුරුන්නාන්සේ නිසා විශිෂ්ට මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණ දෙකක් බිහි කරන්නට හැකිවූ බවද පිළිගනිමු. 1956 දී චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ ජීවිතය ගැමි සමාජයෙන් විදග්ධ සමාජය වෙත විවෘත වූ බව කිව හැකිය. ඊට හේතු වන්නේ දේශීය කලා උරුමයන් අලුත් පරම්පරාවක පිබිදීම උදෙසා රැක ගෙන ඒමය. අභිනව කලා මාධ්‍යයක් බිහි කිරීම සඳහා දායක වූ චාල්ස් සිල්වා ජනතා ගෞරවාදරයට පාත්‍ර වූයේ 1956 වර්ෂයේදීය. 1956 වේදිකා ගතවූ මනමේ වූ කලී කලාත්මක අගයෙන් අනූන ප්‍රථම සිංහල නාට්‍යය පමණක් නොව, දේශීය අනන්‍යතාව තහවුරු කළ හොඳම ශෛලීගත නාට්‍යය ද විය. මේ විශිෂ්ට නාට්‍ය කෘතිය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට මහෝපකාරී වූ වැදගත්ම පුද්ගලයා බළපිටිය අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේම විය. සරච්චන්ද්‍රයන්ගේ අරමුණ සාධනය කරගනු වස් අවශ්‍ය වූ සාම්ප්‍රදායික රාගතාල මනමේ නාට්‍ය නිෂ්පාදනය සඳහා සපයන ලද්දේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ විසිනි.

 මනමේ නාට්‍යයේ පෝෂණයට සුවිශේෂ මෙහෙවරක් කළ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ උපන්නේ 1896 අප්‍රියෙල් 26 වැනි දින බළපිටියේ අම්පේ මුහුදුබඩ ගම්මානයකය. කෑගල්ලේ පිරුවනකින් ශාස්ත්‍ර ඥානය ලැබූ එතුමා කලා ක්‍ෂේත්‍රයට ප්‍රවේශ වූයේ රන්දොඹේ ඇන්. බස්තියන් ගුරුන්නාන්සේගේ මඟ පෙන්වීම යටතේය. නොබෝ කලකින් නාඩගම් නළුවකු ලෙස සුප්‍රකට වූ චාල්ස් සිල්වා මිසිලින් නෝනා සමග අතිනත ගත්තේය. පසු කලෙක මේ යුවළට පුත්තු සතර දෙනෙක් ද එක් දියණියක් ද වූහ. පවුලේ වැඩිමලා වූයේ ලීසින් ගුණසිංහ ය. දෙවැන්නා රිසිලින් ගුණසිංහ ය. නෝමන් ගුණසිංහ පවුලේ තෙවැනියා වූයේ ය. සිව්වැන්නා ඇඩ්වින් ගුණසිංහ ය. පුණ්‍යසේන ගුණසිංහ පවුලේ බාලයා වූයේය. මොවුනතරින් නාඩගම් ශිල්පය පිළිබඳ පියාගේ ගුරුහරුකම් නොමඳව ලබා ගත්තේ වැඩිමහල් පුත් ලීසින් ගුණසිංහ ය. අවාසනාවකට මෙන් ඔහු ගුරුන්නාන්සේ ජීවත්ව සිටියදී තරුණ කල ම මිය

 ගියේය. පවුලේ තුන්වැනියා වූ නෝමන් ගුණසිංහ දක්‍ෂ මද්දල වාදකයකු හා නාඩගම් ගී ගායකයෙක් ලෙස සුප්‍රකට වූයේය. එහෙත් චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ අනුදත් මේ නාට්‍ය කලාව උත්කර්ෂයට නැංවීමට කිසිවකු සමත් වූ බවක් නොපෙනේ. මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ඉමහත් කනගාටුවකින් යුතුව ඒ ගැන සිහිපත් කළහ. ඒ ගුරුන්නාන්සේගේ අවමඟුල අරබයා සරච්චන්ද්‍රයන් රචනා කොට බෙදා හළ මතක ලේඛනය මගිනි.

 මෙයින් සියල්ල අවසන් වූයේ නැත. මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ගුරුන්නාන්සේ මතකයෙහි රඳවා ඔහු පුත් නෝමන් ද සිල්වා ගුණසිංහයන්ට ද අනුකම්පා දක්වා ඔවුනට ජීවන මාර්ගය සකසා දුන්නහ. නෝමන් ගුණසිංහයන් ගේ දෙටු පුත් මහේන්ද්‍රට ද උදව් උපකාර කළහ. මහේන්ද්‍රන්ගේ දෙවැනි මළනුවන් වන බන්දුල ගුණසිංහයෝ මද්දල වාදනයෙහි දක්‍ෂයකු වුවද ඔවුහු ඒ මඟ නොගියහ. ඔවුහු දැනටමත් අරාජික ජීවිතයක් ගත කරති. එහෙත් නන්දන ගුණසිංහයෝ එදා සේම අදත් සරච්චන්ද්‍ර පවුල සමග සුහදව ජීවත් වනු අපි දැක ඇත්තෙමු. එබැවින් සරච්චන්ද්‍රයන් නිසා ගුණසිංහ පවුලට යම් බදු පිළිගැනීමක් ලැබුණා යැයි කෙනෙක් කියතොත් ගුණසිංහ ගුරුන්නාන්සේගේ නික්ම යෑම නිසා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාවේ පසුබෑමට ඊට වඩා යමක් සිදුවූ බව කීමට අපි මැළි නොවෙමු. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මේ නිහතමානී ප්‍රකාශවලින් තහවුරු වන්නේ ඔහුගේ නාට්‍ය කලාවේ පෝෂණයට ගුණසිංහ පවුලෙන් ලැබුණු ආලෝකය ඉමහත් බවය. එහෙත් චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ මරණින් පසුව මේ ජන නාට්‍ය කලාව දුක සේ පවත්වාගෙන ආවේ ගුරුන්නාන්සේගේ බාලපුත් පුණ්‍යසේන ගුණසිංහය. එහෙත් ඔහු තාත්තාගේ ශිල්පය විධිමත්ව ප්‍රගණ කළේ නැත. ඒ පිළිබඳව ද සරච්චන්ද්‍රයෝ දැන සිටියහ.

 ජන නාට්‍ය කලාවන් රැකගෙන මනමේ සිංහබාහු වැනි සම්භාව්‍ය නාට්‍ය නිර්මාණ රැක ගැනීමට ද බළපිටිය අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ දරු මුණුබුරු මිණිපිරියෝ සමත්ව සිටිති. එනිසා ම මනමේ උපතට ගුණසිංහ පවුල ප්‍රබල බලපෑමක් වූ බව මතක් කරදෙනු කැමැත්තෙමි.

● දර්ශනපති මහේෂ් ක්‍රිශාන්ත
 
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment