මස්සිනාගේ හා බිරිඳගේ බැණ වැදීම් නිසා එතෙක් අප අතර නොතිබූ සම්බන්ධයක් ඇති වුණා

1233

අනියම් සැමියාගේ මරණ පරීක්ෂණයේදී අනියම් බිරිඳ කියයි

තමාට ක්ලාන්ත ගතියක් වගේ දැනෙන බව පවසා හෝටලයේ වැසිකිළියට ගිය අනියම් සැමියා එක්වරම බිම ඇද වැටුණා යැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීයාගේ අනියම් බිරිද පැවැසුවාය.

සිය අනියම් බිරිඳ සමග පෞද්ගලික ලැගුම් හලකට ගොස් කාමරයක් කුලියට ගෙන සිටියදී හෘදයාබාධයකින් මරුමුවට පත් සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඇය එසේ ප්‍රකාශ කළාය.

හතළිස් නව හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්.ජයතිලක මහතා විසින් සිදු කළ අතර අනුරාධපුර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ආර්.එම්.ජී.රත්නායක මහතා (47902) විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කළේය.

මෙහිදී සාක්ෂි දුන් හතළිස් දෙහැවිරිදි අනියම් බිරිඳ මෙසේ පැවැසුවාය.

මට දියණියන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් දෙදෙනාම විවාහකයි. මගේ සැමියා රැකියාව ලෙස ගොවිතැන් කරනවා.

2001 වර්ෂයේ සිට 2022 වර්ෂය වන තෙක් කඩින් කඩ ගෘහ සේවය සදහා විදේශගතවී තිබෙනවා. මියගොස් සිටින අනියම් ස්වාමි පුරුෂයා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කළා. මම වසර දහයක පමණ කාලයක් ඔහු සමග අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියා.

මියගිය අනියම් සැමියාට දරුවන් දෙදෙනෙක් සිටිනවා. මියගොස් සිටින අනියම් ස්වාමි පුරුෂයා හා මා අතර අනියම් ප්‍රේම සම්බන්ධයක් තිබෙන බවත් එය නතර කර දමන ලෙසට ඔහුගේ සහෝදරයා සහ නීත්‍යානුකූල විවාහක බිරිඳ ඇවිත් මට බැණ වැදුණා. නමුත් ඒ කාලයේදී අප දෙදෙනා අතර කිසිම ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නෑ.

මියගොස් සිටින අනියම් සැමියාගේ විවාහක බිරිඳගේ කීම් අසා මගේ සැමියා මා කෙරෙහි සැකයක් ඇති කර ගෙන දිනක් මට හොඳටම පහර දුන්නා. ඊට පසුව තමයි මියගොස් සිටින අයයි මමයි අතර අනියම් සම්බන්ධයක් ඇති වුණේ.

සිද්ධිය වූදා මියගොස් සිටින අනියම් සැමියා ඔහුගේ නිවසේ සිට ඔහුගේ යතුරුපැදියෙනුත් මම බස් රථයෙනුත් පොතානේගම මංසන්ධියට ඇවිත් එතැන් සිට පෞද්ගලික ලැගුම්හල වෙත පැමිණ සිටියා.

දැනට මාසයක පමණ කාලයක සිට හදිසි හෘද රෝගී තත්ත්වයක් පවතින බවත් එයට ප්‍රතිකාර ගනිමින් සිටින බවත් ඔහු පැවසුවා.

සිද්ධිය වූ දින දවල් 1.30 ට පමණ තමාට ක්ලාන්ත ගතියක් වගේ පවතින බවත් වැසිකිළියට යාමට අවශ්‍ය බවත් කියා ඔහු වැසිකිළියට යනවාත් සමග බිම ඇද වැටුණා. මාගේ අනියම් සැමියාට පෙර තිබූ අසනීප තත්ත්වය උත්සන්නවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට මා විශ්වාස කරනවා.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment