නුවරඑළිය සහ නුවර තැපැල් කාර්යාල සංචාරක හෝටල් කිරීම…

383

අප කළ යුතු වන්නේ පවතින සංචාරක ආකර්ෂණීය ස්ථාන තව දියුණු කිරීම සහ නව සංචාරක ස්ථාන පවා හඳුනාගෙන ඒවා දියුණු කර වඩාත් ප්‍රචලිත කිරීමයි. ඒවා බැලීමට එන විදේශ සංචාරකයන්ට සංචාරක හෝටල් සහ සංචාරක කාමර ඇතුළු වෙනත් සංචාරක පහසුම වැඩි කිරීම ද ඒ සමගම කළ යුතු දෙයක් බව සත්‍යයකි. මේ නිසා එවැනි වටිනාකමක් ඇති නුවරඑළිය තැපැල් කන්තෝරුව සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා මිස එය සංචාරක හෝටලයක් බවට පත් කිරීම නිවැරදි තීරණයක් ද? සංචාරක හෝටල් හැදීමට තව කෙතරම් ස්ථාන නුවරඑළියේ තියෙනවා ද?

විදේශිකයන් විවිධ රටවල, විවිධ අරමුණු ඇතිව සංචාරය කරනවා විය හැකිය. එයින් එක් අරමුණක් වන්නේ එම රටේ සංචාරක ආකර්ෂණ ස්ථාන දැක බලා ගැනීමයි. මෙසේ අපේ රටට ද අපේ රටේ අසිරිය මෙන්ම සීගිරිය ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන දැකබලා ගැනීමට විදේශ සංචාරකයින් පැමිණෙයි. එසේ නැතුව විදේශිකයින් එන්නේ එම සංචාරක ආකර්ෂණ ස්ථාන හෝටල් බවට පත් කළ පසු ඒවායේ නවාතැන් ගැනීමට නොවේ. ඉපැරණි නුවරඑළිය තැපැල් කන්තෝරුවත් නුවරඑළියේ තිබෙන එවැනි වටිනා සංචාරක ආකර්ෂණයකි. අප කළ යුත්තේ එවැනි සංචාරක ආකර්ෂණයන් රැකගෙන ඒවා තවත් දියුණු කර එම ස්ථාන බැලීමට වැඩි වැඩියෙන් සංචාරකයින් පැමිණෙන තත්ත්වයක් ඇති කර ගැනීමයි. අපේක්ෂිත සංචාරක පැමිණීම්වල වර්ධනයට සාපේක්ෂව සංචාරක හෝටල් කාමර ප්‍රමාණය අප විසින් තවත් වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා අලුතින් සංචාරක හෝටල් ඉදි කළ යුතුව පවතින බව ද සත්‍යයකි. ඒ සඳහා රටේ සංචාරක කලාප ආශ්‍රිතව සංචාරක හෝටල් අලුතින් ඉදිකිරීම ද අවශ්‍ය දෙයකි. එහෙත් ඒ ඒ ප්‍රදේශවල තිබෙන සංචාරක ආකර්ෂණ ස්ථාන හෝ නව සංචාරක ආකර්ෂණ ලෙස හඳුනාගෙන සංවර්ධනය කළ හැකි ස්ථාන හෝ ගොඩනැඟිලි සංචාරක හෝටල් බවට පත් කිරීම කෙතරම් සුදුසු දෙයක් ද? එයින් වන්නේ විදෙස් සංචාරකයන් එම ප්‍රදේශයට ආකර්ෂණය කර ගැනීමට තිබෙන ස්ථානයක් හෝ ගොඩනැඟිල්ලක් නැති කර ගැනීම නොවේ ද යන ප්‍රශ්නය අපට මතු වේ.

මේ පූර්විකාව අප සටහන් කළේ නුවරඑළිය තැපැල් කන්තෝරුව සංචාරක හෝටලයක් බවට පත් කිරීමට රජයේ ඇති සූදානම නිසාය. මේ පිළිබඳ වචන හුවමාරුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර මහතා අතර සිදු වූ අයුරු මුළු රටම දැක්කේය. මෙම සිදුවීම වූයේ පසුගිය දා නුවරඑළියේ සංචාරක නගර සංවර්ධනය ගැන පැවති සාකච්ඡාවකදී ය. මේ අවස්ථාවේ ඊට පෙර පැවති රැස්වීමකදී ගත් තීරණයක් පිළිබඳ පොහොට්ටු මන්ත්‍රී එස්.බී. දිසානායක මතක් කළේය. මෙහිදී ජනපතිගේ කතාවෙන් පැහැදිලි වූයේ නුවරඑළියේ තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම් දී තිබී ඇති බවයි. එසේම එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි. එසේම මේ සංවාදයෙන් අපට තේරුම් ගියේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල වෙනුවට තැපැල් කන්තෝරුව පිටුපස භූමිය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් වී ඇති බවයි. මේ නිසා ජනපති රනිල්ගේ රතු කට්ට පැන්න බවක් පෙනිණි. මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැපැල්පතිවරයාගෙන් මේක දෙනවා ද නැද්ද යනුවෙන් විමසා සිටියේය. එසේම ජනාධිපතිවරයා කීවේ තමාට මුළු ගොඩනැඟිල්ලම අවශ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් කතා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තැපැල්පතිවරයා අමතමින් මෙසේ දැඩිව කියා සිටියේය.

“මොකක්ද ඔයගොල්ල මේ කරන්නේ? මම මෙතන කිව්වේ මුළු බිල්ඩිමම ඕන කියල. අද කරනව ද නැද්ද කියල මට කියන්න? කරනව ද නැද්ද?”

මෙයට ප්‍රතිචාර වශයෙන් තැපැල්පතිවරයා හීන් හඬින් කියා සිටියේ “කරනවා” යනුවෙනි. ජනාධිපතිවරයා සමග ඔහුට වාද කිරීමට අපහසු බව අපට තේරුම් ගත හැකිය. එසේ නොකරන්නේ නම් ඔහුට සිදුවනු ඇත්තේ ඉල්ලා අස්වී ගෙදර යෑමට ය. මේ අනුව “කරනවා” යනුවෙන් තැපැල්පති කී පසු ජනාධිපතිවරයා මෙසේ ද ඔහුට කීවේය.

“එහෙනම් අද යන්න ඉස්සෙල්ලා එකඟ වෙලා යන්න. වෙන තැනක් හොයා ගන්න යන්න ඉස්සෙල්ල. කිව්වයින් පස්සේ සෙල්ලන් කරන්න එපා. ඊට පස්සේ මහනුවර ගොඩනැඟිල්ලත් ඕන හෝටලයක් කරන්න. ඒකත් මම කියල තියෙන්නේ ඒකටත් ලැස්ති වෙන්න.”

“මම ඇහුවේ තැපැල් කන්තෝරුව. එයාල දෙනවා ඊට පිටිපස්සේ තියෙන ඉඩම. මේවා අල්ලාගෙන මාත් එක්ක මේවා කරන්න එපා. ඉඩම් දෙන්න කිව්වම දෙන්න” කියාද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කියන්නේ නුවරඑළිය පමණක් නොව නුවර යන තැපැල් කන්තෝරු දෙකම සංචාරක හෝටල් සඳහා ලබා දීමට යන බවයි. මේ කියන නුවරඑළිය සහ නුවර යන තැපැල් කන්තෝරු නැති කර ඒවා සංචාරක හෝටල් බවට පත් කිරීම හරි වැඩක් ද? මෙය සංචාරක ව්‍යාපාරයට හිතකර තීරණයක් ද? මේ තීරණය නිසා නුවරඑළියට සහ නුවරට වැඩියෙන් සංචාරකයින් පැමිණෙනු ඇති ද? මේ ගැන විවිධ අදහස් පළ වෙමින් තිබේ. මේ ගැන සංචාරක කර්මාන්තයේ නිරත අය මෙන්ම තැපැල් වෘත්තීය සමිති ද හඬ අවදි කර ඇත. මෙසේ සංචාරක හෝටල් කරන්නට යන්නේ නුවරඑළිය සහ මහනුවර තැපැල් දෙපාර්තමේන්තුව සතු පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැඟිලිය. මේ අනුව නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල හෝටල් කිරීමට එරෙහිව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් දියත් කර ඇත. එය පෙරේදා (07) මධ්‍යම රාත්‍රී 12.00 සිට අද (09) දින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දියත් කිරීමට තීරණය කළේය. මේ සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘පෞරාණික මෙන්ම, ආර්ථික වටිනාමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය හා මහනුවර තැපැල් කාර්යාල සතු ගොඩනැඟිලි සහ භූමිය හෝටල් ව්‍යාපෘතීන් සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

අප රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑමේ වත්මන් රජයේ උත්සාහයට දැඩි විරෝධය පළකර එය නවතා දමන ලෙස මේ වන විට ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට හා අදාළ සියලු මැති ඇමැතිවරුන් වෙත ලිඛිතව දන්වා යවා ඇත. එහෙත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙම ඓතිහාසික වටිනාකමක් මෙන්ම ආර්ථික වටිනාකමක් ඇති ගොඩනැඟිලි පුද්ගලික අංශයට විකුණා දැමීමේ කටයුතු මේ වන විට නොනැවතී ඉටුකරමින් සිටී. මෙම විකුණා දැමීම් නවතා දමන ලෙස රජයට බල කරමින් දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් මෙම සංකේත වැඩ වර්ජනයක නිරත වෙමින් සිටී. අද (09) දින නුවරඑළිය නගරයේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇත.’

තම පුටුව රැකගනිමින් ජනපතිට අවනත වූ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර පසුව නිවේදනයකින් කියන්නේ කුමක් ද? එනම් එම සංකේත වැඩ වර්ජනය පවත්වන දිනවල තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බවයි. එම නිසා යෝජිත තුන් දින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැරව සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව ද තැපැල්පතිවරයා නිවේදනය කළේය. එහි තැපැල්පතිවරයා කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල රජයේ ප්‍රතිපත්තියට අනුව වඩාත් ඵලදායී ආයෝජන අවස්ථාවකට ඉඩ දීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමට ජනාධිපති ලේකම්වරයා වෙත දන්වා ඇති බවයි. ඒ වෙනුවට නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සුදුසු ගොඩනැඟිල්ලක් ලබා දීමට කටයුතු කරන බවට ඇමැතිවරයා විසින් සහතික වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ නිසා නව තැපැල්පතිවරයෙක් පත් කිරීමට ජනපතිවරයාට අවශ්‍ය නොවනු ඇත. වර්තමාන තැපැල්පති සත්කුමාර විසින්ම පෞරාණික වටිනාමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් සඳහා දීමට ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත ප්‍රකාශ කර ඇත. එසේ නොකරන්නේ නම් ඔහුට වනු ඇත්තේ ඉල්ලා අස් වී ගෙදර යෑමට ය. ඔහුට රජයේ ප්‍රතිපත්තියට අනුව එය කිරීමට සිදුවනු ඇත. එහෙත් මේ කියන රජය කුමක් ද? මේ රජය පත් කළේ කවුද? මේ ක්‍රියාත්මක වන්නේ මේ ජනවරම දුන් ජනයාගේ අපේක්ෂා ද? එය වෙනම ප්‍රශ්නයකි. කෙසේ හෝ මේ ලියුම්කරු මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අකැමැති අයෙක් නොවේ. සංචාරක හෝටල් අලුතින් ඉදි කිරීමට අකැමැති අයෙක් ද නොවේ. අනිවාර්යයෙන්ම මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශාල විභවතාවක් තිබේ. මීට වඩා වැඩි සංචාරක පිරිසක් මේ රටට අනිවාර්යයෙන්ම ආකර්ෂණය කරගත හැකිය. නිසි උපායමාර්ග හා සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් අපේ සංචාරක කර්මාන්තය මේ රටේ අංක එකේ විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ද පත් කරගත හැකිය. එහෙත් ඒ සඳහා මෙවැනි තීරණ සත්‍ය වශයෙන්ම ඉවහල් වනවා ද යන්න අපි ප්‍රශ්න කරමු.

මේ නිසා අප කළ යුතු වන්නේ පවතින සංචාරක ආකර්ෂණීය ස්ථාන තව දියුණු කිරීම සහ නව සංචාරක ස්ථාන පවා හඳුනාගෙන ඒවා දියුණු කර වඩාත් ප්‍රචලිත කිරීමයි. ඒවා බැලීමට එන විදේශ සංචාරකයන්ට සංචාරක හෝටල් සහ සංචාරක කාමර ඇතුළු වෙනත් සංචාරක පහසුම වැඩි කිරීම ද ඒ සමගම කළ යුතු දෙයක් බව සත්‍යයකි. මේ නිසා එවැනි වටිනාකමක් ඇති නුවරඑළිය තැපැල් කන්තෝරුව සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා මිස එය සංචාරක හෝටලයක් බවට පත් කිරීම නිවැරදි තීරණයක් ද? සංචාරක හෝටල් හැදීමට තව කෙතරම් ස්ථාන නුවරඑළියේ තියෙනවා ද? මේ නිසා නුවරඑළියේ තිබෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන රැක ගනිමින් ඒවා තවත් දියුණු කරන අතරම සංචාරක කාමර පහසුකම් වැඩි කිරීමට වෙනම සැලසුමක් අවශ්‍ය බව අපගේ අදහසයි. මේ නිසා ජනාධිපතිවරයාට මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැබෑ වුවමනාවක් ඇත්නම් එය අපි අගය කරමු. එසේම නුවරඑළිය සංචාරකයන් වැඩිපුර එන නගරයක් බවට පත් කිරීමට ඔහුට අවශ්‍ය නම් එය ද අපි අගය කරමු. එහෙත් ඒ සඳහා මෙවැනි තීරණ හේතු නොවන බවත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙවැනි තීරණ අහිතකර ලෙස බලපානු ඇති බවත් සටහන් කළ යුතුව ඇත.

මේ දිනවල සියලුදෙනා කතා කරන්නේ ක්‍රිකට් අර්බුදය ගැනයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු එම කතාව කරමින් අනාවරණයන් රැසක් කළේය. එය ඔහු කළේ ඔහුගේ ඇමැති ධුරය පවා පරදුවට තබා විය හැකිය. ඔහු පත් වූයේ පොහොට්ටුවේ ඡන්දයෙනි. එහෙත් මේ ඓතිහාසික කතාව ගැන පොහොට්ටුවට ඡන්දය දුන් ජනයා පමණක් නොව මේ රටේ බහුතර ජනයාම ගරු කරනු ඇත. ඒ නිසා තවමත් මේ තිබෙන ජනවරම කුමක් ද යන්න (එය අද මහ පොළොවේ නොතිබෙනවා විය හැකිය.) අප තේරුම් ගත යුතුව තිබේ. බලය තාවකාලිකය. එය හැමදාම තිබෙන්නේ නැත. ඒ නිසා නිවැරදිව අභීතව මහජනයා වෙනුවෙන් කටයුතු කිරීමෙන් දේශපාලකයෙකුට වරදක් නොවනු ඇත.

මේ රට කරන්නට මේ රටේ අතිමහත් බහුතර ජනයා ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහට නොව ගෝඨාභය රාජපක්ෂටය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ රට කිරීමට අසමත්ව රටම බංකොලොත් කර ඇති වූ බලවත් මහජන පීඩා හමුවේ වර්ධනය වූ මහජන උද්ඝෝෂණවලට මුහුණ දී ගත නොහැකිව රටින් පලා ගියේය. එසේ ඔහු රටින් පැන ගියේ තමන් ගැන අසීමිත විශ්වාසයෙන් ඡන්දය දුන් ලක්ෂ 69 ක ජනයා විසින් පරාජය කළ යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහට රට බාර දීලාය. මේ නිසා එක අතකින් ගෝඨාභය රාජපක්ෂ කළේ තමන්ගේ වටිනා ජනවරම සහ ඒ ඡන්දය දුන් ජනයාගේ අපේක්ෂා අමුඅමුවේ පාවා දීමයි. එසේම අන්තිමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ද පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙමින් ඒ ජනවරම දෙවන වතාවටත් පාවා දුන්නේය. ඒ නිසා රනිල් වික්‍රමසිංහට ජනපතිකම් කිරීමට, මේ රටේ ජනයා විසින් ජනවරමක් නොදුන් අතර ඔහු බහුතර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ව්‍යවස්ථානුකූලව පත් වූ ජනපතිවරයා බවට පත් විය. එබැවින් ඔහු අද රට කරන්නේ පොහොට්ටුවට ලක්ෂ 69 ක් ජනයා දුන් ජනවරමට පින්සිදු වීමටය. එහෙත් ඒ ගැන සලකමින් ඔහු රට කරන බවක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා මේ වන දේවලට ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල්ට ඡන්දය දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ද වගකිව යුතු නොවේ ද?

අප මේ ලිපියෙන් සාකච්ඡා කළේ නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයකට දීම ගැනය. මේ කියන කතාවට ගැලපෙන තේමාවක් සහිත හෙළයේ මහා ගායිකා නන්දා මාලිනියන්ගේ ජනප්‍රිය ගීතයක පේලි කිහිපයකින් මේ ලිපිය මෙසේ නිමා කිරීම වඩාත් මැනවයි සිතමි.

දළදා මැඳුර අධිකව මිල කළ හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල්වලට විකුණාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment