අනාගතයේදී ජනතාවගේ හදවත් ගෝඨාභයගේ අවංකත්වය ගැන කතා කරාවි

916

අනාගතයේ පුරවැසියන්ගේ හෘද සාක්‍ෂිය තුළින් ගෝඨාභය රාජපක්‍ෂ වැනි අවංක මිනිසකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන්ම නිර්මාණය වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව එම පක්‍ෂය නිකුත් කළ නිවේදනය මෙසේය.

තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මවුබිමට සාමය දිනා දීම වෙනුවෙන් තීරණාත්මකම කාර්යභාරයක් ඉටුකර විශිෂ්ටත්වයට පත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය විජයග්‍රහණය කරන ලද්දේ ඉතිහාසගත ජනවරමක් සහිතවයි. ජනාධිපති ධුරයට පත්වී මාස තුනක් ගත වන්නට පෙර කොවිඩ් ව්‍යසනයෙන් සහෝදර රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණ දීමට එතුමාට සිදුවිය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය විධිමත්ව කළමනාකරණය කිරීමට සමත් වූ බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබිණි.

දීර්ඝකාලීන හේතු මත නිර්මාණය වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගැටලුව කොවිඩ් ව්‍යසනය හමුවේ බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය විය. එය මෙරට විදේශ විනිමය අර්බුදයේ උච්චතම අවස්ථාවයි. රජයට එරෙහි විරෝධයක් නිර්මාණය වන්නේ ඩොලර් අර්බුදය හේතුවෙන් සෑම ක්‍ෂේත්‍රයකම ඇතිවූ දැඩි ආර්ථික දුෂ්කරතා නිසාය.

දේශපාලන ලෝකය තුළ අපි වැඩි වශයෙන්ම දකින්නේ බලය ලබාගැනීම සඳහා වන දේශපාලන ප්‍රයත්නයන්ය. බලය සහ තනතුරු අතහැරීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. දේශපාලන බලය අතහැරීම අන් සියල්ලටත් වඩා විරලය. එදා මෙදාතුර ඉතිහාසයේ මෙරට කිසිදු විධායක ජනාධිපතිවරයකු සිය ධුර කාලය නිම වීමට පෙර බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. සැබැවින්ම එය දුෂ්කර තීරණයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ අසීරු තීරණයට එළැඹ ඇත. එතුමන් ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට අදාළව ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබන්නේ ධුර කාලයෙන් හරි අඩක් ඉතිරිව තිබියදීය.

බිහිසුණු යුද බිමේ රණවිරුවකු ලෙසත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙසත් ඔබ ඉටුකළ සේවයට අපගේ ආචාරය පුද කරන්නෙමු. අනාගත පුරවැසියන්ගේ හෘද සාක්ෂිය තුළින් ඔබ වැනි අවංක මිනිසකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන්ම නිර්මාණය වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment