මාවනැල්ලේ ඕඅයිසී කනට ගැහුවා.. හිටපු ප‍්‍රා.ස. මන්තී‍්‍රගෙන් පැමිණිල්ලක් – ගැහුවේ නැහැ : නාය ගිය ස්ථානයෙන් පිරිස ඉවත් කළා පමණයි…

285

චමින්ද සිල්වා, අරණායක – ප‍්‍රදීප් කුමාර ධර්මරත්න

 මාවනැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතා විසින් කිසිදු හේතුවක් නොමැතිව විශාල පිරිසක් ඉදිරියේ තමාගේ කනට ගැසූ බවත් එලෙස පහරදුන් සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අරණායක ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරයකු වන පොල්අඹේගොඩ පදිංචි ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් ඉකුත් 08 දා කෑගල්ල පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කර තිබේ.

 දෙවනගල අල්ගම ප‍්‍රදේශයේ ඉකුත් 05 දා සිදු වූ නායයෑමෙන් විපතට පත්වූ තම ඥාතීන් පිළිබඳ සොයා බැලීමට අරණායක පොදු පෙරමුණු සංවිධායක ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර පිරිසක් සමග අදාළ ස්ථානයට ගොස් කටයුතු කරමින් සිටින අතරතුර නිල් පැහැති ටීෂර්ට් එකකින් සැරසී සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා මුන්ට කොච්චර කීවත් අහන්නේ නෑ යනුවෙන් කෑගසමින් එකපාරටම තමාගේ කනට වැරෙන් පහරක් එල්ල කළ බවත් පහරකෑමට ලක්වූ මන්තී‍්‍රවරයා විසින් පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

 තමාට පොලිස් ස්ථානාධිපතිවරයා කනට පහර දෙන අවස්ථාවේ තමා අසල තම පුතු වන අරණායක ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්තී‍්‍ර මිහිඳු තිලකරත්න, ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඩබ්ලිව්. ජයරත්න, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් වන එන්. ඒ. සෝමවර්ධන, අජන්ත දිසානායක, රෝහණ සුරවීර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සිටි බව ද පහර කෑමට ලක්වූ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ස්ටැන්ලි තිලකරත්න මහතා කියා සිටී.

 තමාට නිකරුණේ පහරදුන් මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඕනෑ කෙනෙක්ට ගිහින් කියන ලෙසට තමාට අභියෝග කළ බව ද, තම ඥාතීන් විපතට පත්ව සිටි අවස්ථාවක මෙම නිලධාරියාගේ කි‍්‍රයාකලාපය නිසා තමා වඩාත් අසරණ වූ බවත් පවසන හිටපු මන්තී‍්‍රවරයා නීතිය අවභාවිතා කරමින් සිවිල් ඇඳුමින් සැරසී සිටි මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳ පරීක්ෂණයක් සිදුකර තමාට සාධාරණයක් ඉටුකරන ලෙස පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය ඇමැතිවරු වන කනක හේරත්, තාරක බාලසූරිය යන මහත්වරුන්ගෙන් ද ඉල්ලා ඇත.

 තමාට නිකරුණේ කිසිදු හේතුවක් නැතිව කනට ගැසූ මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව ජනපතිවරයාට, අගමැතිවරයාට සහ පොලිස්පතිවරයාට ද පැමිණිලි කරන බවත් ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවත් ස්ටැන්ලි තිලකරත්න මහතා පවසයි.

 මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ මාවනැල්ලේ පස්කන්දක් නායයෑමක් ඇති වූ ස්ථානයේ රැුස්ව සිටි විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කළත් කිසිවකුටත් පහරදීමක් සිදුනොකළ බවය. එම ස්ථානයේ දිසාපති, ප‍්‍රා. ලේකම්, මාවනැල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු විශාල පිරිසක් එක්රැස්වී සිටි බවත් නව කොරෝනා රැුල්ලක් ඇති විය හැකි නිසා එම ස්ථානයේ පිරිස් ඉවත් කිරීමට කටයුතු කළ බවද ඔහු කීය. තමා එම ස්ථානයේ සිටි පිරිස් ඉවත් කිරීමේදී මන්තී‍්‍රවරුන් ද නැති ද යන්න සොයා බැලීමක් කළ නොහැකි නිසා සියලූ දෙනා ඉවත් කිරීමට කටයුතු කළ බව ද ඔහු කීය.

 තමාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට එරෙහිව අරණායක පොලිසියේ කසිප්පු ජාවාරම පිළිබඳ පෙර වැරදි කිහිපයක් පවතින බවට දැනගන්නට ඇතැයි ද මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති අසේල මහතා කීය. මේ සම්බන්ධයෙන් අරණායක පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පැමිණිලිකරුට එරෙහිව නීති විරෝධී මත්පැන් චෝදනාව යටතේ නඩු හතරක් පැවැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment