මිනී මරන්න  ගිනිඅවි හමුදා  කඳවුරෙන් පන්නලා

531

සැරයන් අත්අඩංගුවට

ගිනිඅවිය වෙලක තිබී හමුවේ

සැකකරු කඳවුරේ අවි ගබඩා භාරකරු ලෙස රාජකාරි කරලා

මිනිස් ඝාතන සහ විවිධ අපරාධ සඳහා පාතාල කල්ලිවලට කුලී පදනම මත අවි ආයුධ සැපයූ බවට සැකකරන කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක අවි ගබඩා භාරකරු ලෙස කටයුතු කරන මාණ්ඩලික සැරයන්වරයකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (16දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවි ආයුධ ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයකු මීගහතැන්න ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී ඉකුත් 12දා ත්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සඳහා ටී.56 අවියක් පාතාල කල්ලියට ලබාදී ඇත්තේද මෙම යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර සැරයන්වරයා කිලිනොච්චිය කඳවුරේ අවි ගබඩාවෙන් එම ටී. 56 ගිනි අවිය ලබාදී ඇති අතර පොලිසිය මේ වනතුරුත් එය සොයාගෙන නැත.

අහුන්ගල්ල හෝටලය ඉදිරිපිට ත්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පාතාල කල්ලියක් ගත් උත්සාහය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙම සැරයන්වරයා පිළිබඳව තොරතුරු අනාවරණය විය.

ඉකුත් 12 වැනිදා අහුන්ගල්ල හෝටලයක් ඉදිරිපිට වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියැදුරු තුවාල ලැබූ අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඉකුත් 14 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මරුමුවට පත්විය.

අත්අඩංගුවට ගත් යුද හමුදා දෙවන කොමාන්ඩෝ බළකායේ මාණ්ඩලික සැරයන්වරයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදාවෙන් පලා ආ සෙබළකු මෙම සැරයන්වරයාගේ සමීප මිතුරෙකි.

හමුදාවෙන් පලා ආ එම සෙබළාගේ ඉල්ලීම මත සැකකාර සැරයන්වරයා කිලිනොච්චිය කඳවුරේ අවි ගබඩාවෙන් මෙම ටී. 56 ගිනි අවිය ඔවුන්ට ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

හමුදාවෙන් පලා ආ සෙබළා සහ තවත් කීපදෙනෙකු මෝටර් රථයකින් කිලිනොච්චිය කඳවුර වෙත ගොස් මෙම අවිය රැගෙන විත් ඇති බවද අනාවරණය විය.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු මෙම ටී. 56 ගිනි අවිය නැවත කිලිනොච්චිය කඳවුර වෙත භාරදීමට සැලසුම් කරගෙන සිටියද එය භාරදීමට ඔවුන්ට නොහැකිවී ඇත.

ටී. 56 ගිනි අවිය කොපමණ මුදලකට කුලියට දුන්නාද යන්න මෙතෙක් හෙළිවී නොමැත. සැකකාර මාණ්ඩලික සැරයන්වරයා මීට පෙරත් මේ ආකාරයට අවි ගබඩාවේ අවි ආයුධ කුලී පදනම මත පාතාලයට ලබාදෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකාර හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ඇල්පිටිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයද මෙම මෙහෙයුම සඳහා දායක වී ඇත. සැකකාර යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයා ඇල්පිටිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මේ අතර ඉකුත් 12 වැනිදා සවස අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයකු වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

එහිදී ත්‍රිරෝද රථ රියැදුරු පාතාල සාමාජිකයා සමග පොර බැදූ අතර ඔහු සතුව තිබූ ටී. 56 අවිය පත්තුවීමෙන් ත්‍රිරෝද රථ රියදුරුගේ පාදයට තුවාල සිදුවිය.

ත්‍රිරෝද රථ රියැදුරු තුවාල ලබා දිවි ගලවා ගත් අතර පාතාල සාමාජිකයන් මෝටර් රථයේ නැගී පලාගොස් තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩි තැබීමට සම්බන්ධ බව කියන මහේෂ් ඉන්දික ප්‍රභාත් නොහොත් පොඩි ඉන්දික නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලදී.

පොඩි ඉන්දික නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී සඟවා ඇති අවි ආයුද කීපයක් පිළිබඳව තොරතුරු හෙළිකර තිබිණි.

ඒ අනුව ඉකුත් 14 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පොඩි ඉන්දික රැගෙන බලපිටිය ප්‍රදේශයේ කැලෑවකට ගොස් එම ආයුධ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ ප්‍රතිප්‍රහාරවලින් පොඩි ඉන්දික නැමැත්තා මරුමුවට පත් විය.

2004 වර්ෂයේදී යුද හමුදා කොමාන්ඩෝ බළකායට බැඳී සේවය කර ඇති පොඩි ඉන්දික 2015 වර්ෂයේදී සේවය හැර ගොස් තිබිණි.

2017 වර්ෂයේ රුපියල් 78 ලක්‍ෂයක මුදල් කොල්ල කෑමේ සිද්ධියකට සහ ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ පොඩි ඉන්දික බන්ධනාගාර ගතකර සිටියේය.

හේමන්ත රන්දුණු, බණ්ඩාරගම – ආර්.ඒ.එස්.ප්‍රේමතිලක,කැස්බෑව ජයසිංහ, ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment