මොරවැව පොලිස් සැරයන් ගිනිඅවියකුත් අරන් දඩයමේ ගිහින්

69

වාහල්කඩ යාංඔය ඉස්සැන්නෑව වැද්දාකන්ද ප්‍රදේශයේ මහ වනයේ වන සතුන් දඩයම් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් සමග වාහල්කඩ පොලිසිය විසින් පෙරේදා (16 දා) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොරවැව පොලිස් ස්ථානයට අනුයුක්තව රොටවැව පොලිස් මුරපළේ සේවයෙහි නියුතු බව කියන සැරයන්වරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් රොටවැව, කහටගස්දිගිලිය සහ වාහල්කඩ ඩී 08 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය මොරවැව පොලිස් ස්ථානයේ අවි ගබඩාවට අයත් එකක් බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වාහල්කඩ පොලිසිය නිලධාරීහු සැකකරති.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව වාහල්කඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ජී. එම්. ඩී. හරිශ්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

සැකකරුවන් ඊයේ (17දා) සවස කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment