රුහුණු කුමාරි දුම්රියේ දමාගිය ලක්‍ෂ 50කට අධික රන් ඇතුළු දේපළ යළි අයිතිකරුවන්ට

168

දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් උතුම් ක්‍රියාවක්

මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපළ අඩංගු බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරුවන් සොයා භාරදීමට පියවර ගෙන තිබේ.

මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට අයත් මෙම දේපළ දුම්රියේ අමතකව ගොස් තිබුණි.

හිරුණි නිමාෂාගේ ගම මාතර පාලටුව අත්තුඩාව වන අතර අඹුසැමියන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිණීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි.

මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.

මොවුන් සතුව තිබූ ගමන් බෑග් කීපයක් දුම්රියේ වාඩිවී සිටි තැන සීට් එක යට තබා තිබී ඇති අතර කොටුවෙන් බැසීමේ දී මෙම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.

කොටුවට පැමිණි දුම්රිය මාලිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරික්ෂා කිරීම් සිදු කිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ. කේ. ලංකානන්ද සහ 91272 එල්. ඩී. ප්‍රියංකර යන දෙදෙනාට මෙම බෑගය හමුවී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබුණි.

බෑගය තුළ පවුම් 3 ක රන් මාලයක්, අත් පළඳනාවක්, ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35 ක ඉතුරුම් සහතිකයක් ද, බැංකු පොත්, මෝටර් රථයේ යතුරු, හැඳුනුම්පත් ඇතුළු දේපළ තිබී ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම බෑගයේ හිමිකරු සෙවීම ආරම්භ කර ඇති අතර ඒ අනුව දිවයින පුරාම දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම පණිවුඩය ද ලබාදීමට ක්‍රියා කර ඇත.

ඒ අතර බෑගයේ තිබූ බැංකු පොතේ ලිපිනය සොයා ගැනීම් අනුව සහකාර ආරක්ෂක අධිකාරි (දකුණ) ජී. ඩබ්ලිව්. සුමිත් මහතා හරහා මාතර පාලටුව නිවසට පණිවුඩ යවා මෙම අයිතිකරුවන් සොයා ගැනීමට හැකි වී ඇත.

මේ අතර බෑගයේ අයිතිකරුවන්ද එය නොමැති බව දැන බොහෝ වේලා සොයා බැලීම් සිදු කර ඇති අතර පසුව එය අසාර්ථක වී මහනුවරට යෑමට බස් රථයක සිටියදී ඔවුන්ට මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලයෙන් ඇමතුමක් ලැබී තිබේ.

ඔවුන් පවසා සිටින්නේ සොර සතුරන් වැඩි නිසා රන් භාණ්ඩ ඇතුළු දේපළ නිවසේ නොතියා තමන් යන යන තැන්වලට මෙසේ රැගෙන යෑමට සිදු වීම නිසා මෙවැනි දෙයක් සිදු වූ බවයි.

දුම්රිය ආරක්ෂක අධිකාරිය අනුර ප්‍රේමරත්න සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරිය ගාමිණී දිසානායක උපදෙස් මත මාලිගාවත්ත දුම්රිය කාර්ය භාර නිලධාරි නන්දන පෙරේරා දුම්රිය ආරක්ෂක සැරයන් වරු වන 90874 හේරත් 91075 මාරසිංහ 90857 වීරවර්ධන කාන්තා ආරක්ෂක 91157 උදයංගනි ඇතුළු නිලධාරි පිරිසක් මෙම කාර්යය සඳහා එක්ව සිටියහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment