නිවේදකයෙක් විදියට ඉදිරියටම යනවා – ඉන්දික කළුආරච්චි

122

මාතර, පිටබැද්දර, දෑරංගල උපන් ඉන්දික කළුආරච්චි නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1997 අගෝස්තු 31 දෑරංගල ශ්‍රී සීලානන්ද දහම් පාසලේ විවිධ ප්‍රසංගය මෙහෙයවමින් ළමා නිවේදකයකු විදියට. ඒ ආපු ගමනට දැන් අවුරුදු 26ක්. ඉතින් අපි ඔහු සමග කතා කළා.

● නිවේදන ක්ෂේත්‍රයේ ඔබේ ගමන් මග කොහොමද?

1993 දකුණු පළාතේ හොඳම කථිකයා වුණා. 2000 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ මල්මල් වාරම් ළමා වැඩසටහන තුළින් ගුවන් විදුලි ළමා ශිල්පියෙක් වෙන්න පුළුවන් වුණා. එදා රේඩියෝව ඇතුළේ මමත් ඉන්නවා කියලා හිතෙද්දි, දැනුන සතුටට ඇස් දෙක තාමත් තෙත් වෙනව වගේ.

ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදක අමිත් කරුණාරත්න මහත්තයගේ වාරුවෙන් මං ගොඩක් දේවල් ගුවන් විදුලි මැදිරියේදි ඉගෙන ගත්ත. ඉන් පසුව මල් මල් වාරම්, රන්සිතිපිල්, යොවුන් නෙත, කදමල්ල, අපේ දහම් පාසල, පිපෙන කැකුළු වගේ වැඩසටහන් සඳහා ගුවන් විදුලියේ මගේ හඬ එක් වුණා.

● ඔබ හඬ දායක කළ විශේෂ වැඩසටහන්?

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කළ ජාතික හරිත කඩමණ්ඩිය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ මංගල්‍යය, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය වෙසක් උත්සවය හා පළාත් රාජ්‍ය බක්මහ උළෙල, ශ්‍රී ලංකාවේ ප්‍රථම කවි විරිදු ප්‍රසංගය, ශ්‍රී ලංකාවේ විශාලතම කඨින පෙරහැර මංගල්‍යය ආදී වැඩසටහන් රැසක් සඳහා නිවේදකයෙක් විදියට මා හඬින් දායක වුණා.

● ඔබ මොන මාධ්‍ය ආයතන සමග ද සම්බන්ධ වුණේ?

තානායම්පල රේඩියෝ සමඟ එක්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ සියහඬ රේඩියෝ, දම්දිය රූපවාහිනී ඇතුළු වෙබ් රූපවාහිනී හා ගුවන් විදුලි ආයතන රැසකට වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හා නිවේදකයෙක් විදියට සම්බන්ධ වුණා. ඒ වගේම පෞද්ගලික නාලිකා කිහිපයකට ම නිදහස් සන්නිවේදකයෙක් විදියට වැඩසටහන් සඳහා දායක වුණා. තුන්කල් යූ ටී.වී. යූටියුබ් නාලිකාව හා තුන්කල් සමාජ මාධ්‍ය ජාලය දැන් මගේ බොහෝ නිර්මාණ ජනගත වන මාධ්‍යයන්.

● සන්නිවේදකයෙක් විදියට ලද ඇගයීම් මොනවද?

කථිකයෙක් විදියට පළමු සම්මානය ලැබෙන්නේ පාසල් අවදියේමයි. දකුණු පළාතේ හොඳම විවාදකයෙක් විදියට හෙට පායන තරු පාසල් ශිෂ්‍ය සම්මානය ලැබුණා. ඊට පස්සේ අමිල ටැලන්ට් හොඳම නිවේදක සම්මානය, කාලීන වෙබ් රේඩියෝ වැඩසටහන් වෙනුවෙන් වන අමිල ටැලන්ට් සම්මානය, මොරවක් කෝරළයෙන් බිහිවූ විශිෂ්ට නිවේදක සම්මානය, ගම්වැසි අභිමානී සම්මානය හා පෙර පාසල් විවිධ ප්‍රසංග සියයක් නිවේදනය කිරීම වෙනුවෙන් ඇගයුම් සම්මානයක් ද ලැබුණා. ඒ වගේම ශ්‍රී රෝහණ ප්‍රදීප දේශමාන්‍ය ගෞරව නාමය, මේ ගමනේ අනර්ඝ සිහිවටන හා ඇගයීම් අතරට එක් වුණා. නිවේදකයෙක් හැටියට මං ඉස්සරහට යනවා.

● අනුරාධ

advertistmentadvertistment
advertistmentadvertistment