අධිකරණ නිලධාරීන් හා නීතිඥයන් අවබෝධයන් ක්‍රියා කිරීමෙන් නීතියේ ආධිපත්‍ය සුරැකිය හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ

60

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව ඉටු කිරීමට දැනුමින් පිරිපුන් නීතිඥයන් අවශ්‍ය බවත් අධිකරණ නිලධාරීන් සහ නීතිඥයන් අවබෝධයෙන් ක්‍රියා කිරීම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ශක්තියක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය .

ඇමතිවරයා මේ බව පැවසූවේ ඊයේ (24දා) පෙරවරුවේ පැවති මාතර, කොටවිල නව අධිකරණ සංකීර්ණ නීති පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

අධිකරණ නිලධාරීන් හා නීතිඥයන් අවබෝධයන් ක්‍රියා කිරීමෙන් නීතියේ ආධිපත්‍ය සුරැකිය හැකියි - ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ

1736 මාතර අධිකරණ සංකීර්ණය ආරම්භ කර තිබෙනවා. 1837 වර්ෂයේ පමණ එහි නීති පුස්තකාලය ආරම්භ වී ඇති බව සඳහන් වුණා. මෙරට අධිකරණ අතර නීති වාර්තාවක් නිකුත් කළ පළමු අධිකරණය මාතර අධිකරණය විය හැකියි. නීතිඥ වෘත්තියේ කටයුතු සාර්ථකව සිදු කිරීමට අධිකරණ නීති පුස්තකාලය අත්‍යවශ්‍ය දෙයක් බව කිව යුතුයි. මාතර නව අධිකරණය සඳහා නීති පුස්තකාලයක් අවශ්‍ය බව නීතිඥ සංගමයේ නිලධාරීන් අවස්ථා කිහිපයක ඉල්ලීම් කළා. ඒ අනුව කඩිනමින් එය ලබාදෙන ලෙස උපදෙස් දුන්නා. අපි සෑම අයෙක්ම අපේ ජීවිතය පවතිනතුරු ඉගෙන ගන්නවා. විශේෂයෙන් වෘත්තිය ජීවිතයක් ගත කරනු ලබන නීතිඥයන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා පුස්තකාල පරිශීලනය කළ යුතුයි. නීතිඥ වෘත්තිය රටක ඉදිරි දියුණුවට මෙන්ම පරිහානියට හේතුවන වෘත්තියක් බව සඳහන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වීම රටෙහි දියුණුවට අතිශයින්ම වැදගත් වෙනවා. යුක්තිය කාර්යක්ෂම ඉටුකිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා දැනුම අවබෝධය සහිත පිරිපුන් නීතිඥයන් අවශ්‍යයි. විශේෂයෙන් නීතිඥයන් සහ අධිකරණ නිලධාරීන් අතර පවතින සුහදශීලීත්වය අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ හැකියි.

1736 මාතර අධිකරණය ආරම්භ කර ඇති අතර 1837 වසරේ එම අධිකරණ සංකීර්ණය තුළ නීති පුස්තකාලයක් ආරම්භ කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, ජනාධිපති නීතිඥවරුන් වන රසීක් සරූක්, ආනන්ද වික්‍රමසේකර, උපාලි මොහොට්ටි, කපිල මනම්පේරි, මාතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, රංගජීව ගමගේ, එහි ලේකම් රංජිත් අබේසුන්දර, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ දුමින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. අධිකරණ ඇමතිවරයා විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් මාතර අධිකරණ නීති පුස්තකාලය සඳහා පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුවිණි.

advertistmentadvertistment
advertistmentadvertistment