රොනී ද මෙල්ගෙන් ලද අත්දැකීම මගේ දේශපාලනයට පන්නරයක් වුණා – රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකියි

126

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මෙල්ගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමින් කියයි
දේශපාලඥයන්ට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
නූතනවාදී අදහස් දැරූ දේශපාලනඥයෙක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රොනී ද මෙල්ගෙන් ලද අත්දැකීම මගේ දේශපාලනයට පන්නරයක් වුණා - රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (01)දා පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි. රොනී ද මෙල් මහතාගේ අවසන් කැමැත්තට අනුව මෙම අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබිණි. රුහුණු විශ්වවිද්‍යාලයීයගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් අවමංගල්‍ය සභාවේ

පිළිගැනීමේ කතාව සිදු කළේය. දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති වැලිගම අග්‍රබෝධි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මිදිගම ශ්‍රී සෝරත මාහිමිපාණන් වහන්සේ, කෝට්ටගොඩ සුදර්ශන බිම්බ මහා විහාරාධිපති පූජ්‍ය

ගොඩැල්ලේවෙල රතනානන්ද අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත කරතොට පඤ්ඤාසීල නායක හිමිපණන් වහන්සේ විසින් පැවිදි අනුශාසනා සිදු කළහ.

අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රොනී ද මෙල් මහතා සමග මට තවදුරටත් සමීපව වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුවයි. එතුමා ඉතා දක්ෂව කටයුතු කළා. මෙරට ආර්ථිකය විවෘත කිරීමේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා භාර දුන්නේ රොනී ද මෙල් මහතාටයි. එතුමාට එය භාරදුන්නේ ජූලි මාසයේ. නමුත් ඔක්තෝබර්, සැප්තැම්බර් වන විට ඒ වැඩකටයුතු සියල්ල එතුමා අවසන් කර තිබුණා. කිසිම වැඩකට එතුමා වැඩි කාලයක් ගත්තේ නැහැ. කිරීමට අවශ්‍ය සියලු‍ දේ එකවර නිම කළා. ඒ ආදර්ශය මමත්

එතුමාගෙන් ලබාගත්තා. මේ අවස්ථාවේත් මම කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

එතුමා රටේ ආර්ථිකය විවෘත කළා පමණක් නොවයි ඉන් පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කරගෙන ගිය විශාල සංවර්ධන වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා දුන්නා. අපි මහවැලිය හැදුවා. ඒ වගේම විශාල ජලාශ හැදුවා. ඉඩම් සංවර්ධනය කර කෘෂිකර්මාන්තය සඳහා ලබා දුන්නා. ඒ වගේම

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණය හැදුවා, නව ගොඩනැගිලි හැදුවා. ඒ වගේම පාරවල් හැදුවා. වෙළඳ කලාප හැදුවා. නිවාස වැඩසටහන දියත් කළා. මේ සියලු‍ වැඩකටයුතු වෙනුවෙන් මුදල් ලබාදෙන්න එතුමාට හැකියාව ලැබුණා. එතුමා ඒ දක්ෂතාව පෙන්නුවා.

විශේෂයෙන්ම ඉන්දු – ලංකා ගිවිසුම සකස් කරන විට එතුමා ඒ සඳහා සහාය ලබා දුන්නා. එවන් විශිෂ්ට පුද්ගලයෙකුට තමයි අද අප මේ අවසන් ගෞරව දක්වන්නේ. ඒ වගේම එතුමාගේ බිරිඳ වූ මල්ලිකා ද මෙල් මහත්මිය එතුමාගේ සාර්ථකත්වය පිටුපස සිටි බවත් මම මෙහිදී සඳහන් කළ යුතුයි.

රුහුණු විශ්වවිද්‍යාල ඇති කිරීම වෙනුවෙන් එතුමා මහත් කැපවීමකින් කටයුතු කළා. රොනී ද මෙල් මැතිතුමා නොසිටියා නම් අද මෙවන් විශ්වවිද්‍යාලයක් මෙම ස්ථානයේ නොතිබෙන බව කිව යුතුයි. අවසානයේ එතුමාට අවශ්‍ය වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස අවසන්

ගමන් යෑමටයි. රටේ ආර්ථිකය දියුණු කළත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළත් එතුමාට අවශ්‍ය වුණේ මේ රුහුණු විශ්වවිද්‍යාලය දියුණු කළ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීමටයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

රොනී ද මෙල් මහතාගේ ජීවිත කාලය තුළ මේ රටට මෙන්ම ජනතාවට සිදු කළ මෙහෙය අපමණයි. ඒ වගේම එතුමා ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම විවාදකරුවෙක්. විශ්වවිද්‍යාලය තුළින් ලබාගත් දැනුම එතුමාගේ දේශපාලන ජීවිතයට මහත් පන්නරයක්ව තිබුණා. විදේශීය රටවල විවිධ පාලන තන්ත්‍රවල

ගැඹුරු දැනුමක්ද එතුමාට තිබුණා. ඒ වගේම එතුමා තම ධනය පවා ශාසනයට පරිත්‍යාග කළා කළා. එතුමාදේශපාලඥයන්ට පමණක් නොව මුළු රටටම ආදර්ශයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රොනී ද මැල් මහත්මා දේශපාලනයේ නිරතව සිටි කාලයේ එතුමා සතුව තිබුණේ නූතනවාදී අදහස්. රටේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය විය යුතු ආකාරය

ගැන. එතුමා සැබැවින්ම රටටත්, දේශයටත් උතුම් සේවාවක් ඉෂ්ට කළ යුග පුරුෂයෙක්. එතුමා හැමවිටම නූතනවාදී අදහස් එක්කයි ඉදිරියට ගියේ. ඒ වගේම හිටපු අතිදක්ෂ මුදල් අමාත්‍යවරයෙක්. එතුමාගෙන් මේ රටට සිදුවූ සේවාව සුවිශේෂයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කිරීම අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදු කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ද අවමංගල්‍ය සභාව ඇමතූහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක තුෂාර විජේසූරිය යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් රැසක්ද, රොනි ද මෙල් මහතාගේ පවුලේ ඥාතීන්, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු, අකුරැස්ස – සමන් උපුල් පිණිදිය

advertistmentadvertistment
advertistmentadvertistment