ලවණ බාධකය ළඟ පවිත්‍රා හිටගනී

728

මාතර දිස්ත්‍රික්කයට ගංවතුර ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය ගැන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග හා වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

ජලසම්පත් මණ්ඩලය විසින් නිල්වලා ගඟ හරස් කොට මෙම ලවණ බාධකය යොදා තිබේ. මෙම ලවණ බාධකය නිසා මාතර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගංවතුර තත්ත්වය බැස යෑමේ ප්‍රමාදයක් ද පවතින බව හෙළිවී තිබේ.

ඒ අනුව මෙම ලවණ බාධකය සම්බන්ධව කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඇමැතිවරිය ජලසම්පත් මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම ගැටලුව විසදීම සඳහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසද ඇමැතිවරිය නිලධාරීන්ට දැනුම්දී ඇත. වාරි මාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඇමැතිවරිය මෙම උපදෙස් ලබාදී තිබේ.

මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. ඩී. ජයලාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු අයි. පී. ඒ. ගුණසේකර, ජලසම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අජිත් මහතන්තිල හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කුලුආරච්චි යන මහත්ම මහත්මීහු ද නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment